6. 4. 2.
ගණභෝජන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවන ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ලාභ සත්කාර පිරිහී ගිය දේවදත්ත තෙමේ තම පිරිස සමඟ පවුල්වලින් ඉල්ලා ඉල්ලා වළඳයි. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ පවුල්වලින් ඉල්ලා ඉල්ලා වළඳන්නාහු ද? හොඳින් පිළියෙළ කළ දෙය කාට නම් ප්‍රිය නොවේ ද? රසවත් දෙය කාට නම් නොරුචි වේ ද?” කියා ය.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්ති වචන) භික්ෂූන්ට ඇසුණි. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් දේවදත්ත තෙමේ පිරිස සමඟ පවුල්වලින් ඉල්ලා ඉල්ලා වළඳන්නේ ද?” කියා ය. -පෙ- “දේවදත්ත, ඔබ පිරිස සමඟ පවුල්වලින් ඉල්ලා ඉල්ලා වළඳන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ පිරිස සමඟ පවුල්වලින් ඉල්ලා ඉල්ලා වළඳන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ගණ භෝජනයෙහි (භික්ෂූන් හතර නමක් එකට ආරාධනා ලබා වැළඳීමෙහි) පාචිත්තිය ඇවැත් වේ” යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලදී.
3. ඒ කාලයෙහි මිනිස්සු ගිලන් භික්ෂූන්ට දානයට ආරාධනා කරති. භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගණ භෝජනය තහනම් කරන ලදී” යි සැක කරමින් ආරාධනාව නොපිළිගනිති. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගිලන් භික්ෂුවට ගණ භෝජනය වළඳන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සුදුසු සමය හැර ගණ භෝජනයෙහි පාචිත්තිය ඇවැත් වේ. එහි සුදුසු සමය මෙය යි: ගිලන් සමය ය. මෙය එහි සුදුසු සමය යි” කියා ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලදී.
4. ඒ කාලයෙහි මිනිස්සු සිවුරු දෙන සමයෙහි සිවුරු සමඟ දෙන බතක් පිළියෙළ කොට, “වළඳවා සිවුරු පූජා කරන්නෙමු” යි භික්ෂූන්ට ආරාධනා කරති. භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගණ භෝජනය තහනම් කරන ලදී” යි සැක කරමින් ආරාධනාව නොපිළිගනිති. ලැබෙන සිවුරු අඩු විය (බත නොපිළිගත් භික්ෂූන්ට මිනිස්සු සිවුරු නොදුන් බැවිනි). මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. -පෙ- “මහණෙනි, සිවුරු දෙන සමයෙහි ගණ භෝජනය වළඳන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සුදුසු සමය හැර ගණ භෝජනයෙහි පාචිත්තිය ඇවැත් වේ. එහි සුදුසු සමය මෙය යි: ගිලන් සමය, සිවුරු දෙන සමය ය. මෙය එහි සුදුසු සමය යි” කියා ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලදී.
5. ඒ කාලයෙහි මිනිස්සු සිවුරු කරන භික්ෂූන්ට දානයට ආරාධනා කරති. භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ විසින් ගණ භෝජනය තහනම් කරන ලදී” යි සැක කරමින් ආරාධනාව නොපිළිගනිති. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. -පෙ- “මහණෙනි, සිවුරු කරන සමයෙහි ගණ භෝජනය වළඳන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සුදුසු සමය හැර ගණ භෝජනයෙහි පාචිත්තිය ඇවැත් වේ. එහි සුදුසු සමය මෙය යි: ගිලන් සමය, සිවුරු දෙන සමය, සිවුරු කරන සමය ය. මෙය එහි සුදුසු සමය යි” කියා ය.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලදී.