6. 3. 6.
චීවරසිබ්බන ශික්ෂාපදය (සිවුරු මැසීම පිළිබඳ ශික්ෂාපදය)
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් උදායි (ලාළුදායි) තෙරුන් වහන්සේ සිවුරු මැසීමේ කටයුතුවලට දක්ෂ වූහ. එක්තරා භික්ෂුණියක් ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණියාය. පැමිණ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, ආර්යයන් වහන්සේ මට සිවුරක් මසා දෙන සේක් නම් මැනවි.” එවිට ආයුෂ්මත් උදායි තෙරුන් ඒ භික්ෂුණියට සිවුරක් මසා, හොඳින් පඬු පොවා, හොඳින් සකස් කොට, එහි මැද ප්‍රතිභාන චිත්‍රයක් (තමාගේ සිතින් මවාගෙන ඇඳි චිත්‍රයක්) ඇඳ, හකුළා තැබූහ.
2. එවිට ඒ භික්ෂුණිය ආයුෂ්මත් උදායි තෙරුන් වෙත පැමිණියාය. පැමිණ ආයුෂ්මත් උදායි තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, ඒ සිවුර මසා නිම කළාද?” “නැඟණිය, මේ සිවුර හකුළා ඇති ආකාරයෙන්ම ගෙන ගොස් තබා, භික්ෂුණී සංඝයා යම් දිනක අවවාද ලැබීමට යන්නේ නම් එදින මේ සිවුර පොරවාගෙන භික්ෂුණී සංඝයාගේ පිටුපසින් පිටුපසින් එන්න.”
3. එවිට ඒ භික්ෂුණිය ඒ සිවුර හකුළා තිබූ ආකාරයෙන්ම ගෙන ගොස් තබා, භික්ෂුණී සංඝයා යම් දිනක අවවාද ලැබීමට ගියේ නම් එදින ඒ සිවුර පොරවාගෙන භික්ෂුණී සංඝයාගේ පිටුපසින් පිටුපසින් යයි. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “මේ භික්ෂුණීහු පවට බිය නැත්තෝය, ධූර්තයෝය, විළිලජ්ජා නැත්තෝය. සිවුරක ප්‍රතිභාන චිත්‍රයක් ඇන්දෝ නොවැ!” භික්ෂුණීහු “මේ කාගේ වැඩක්ද?” යි මෙසේ ඇසූහ. “ආර්ය උදායි තෙරුන්ගේ” යි. “පවට බිය නැති, ධූර්ත වූ, විළිලජ්ජා නැති යම් කෙනෙක් වෙත් නම් ඔවුන්ට පවා මෙවැන්නක් නොහොබී. ආර්ය උදායි තෙරුන්ට කෙසේ නම් හොබීද?”
4. එවිට ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උදායි භික්ෂුණියකට සිවුරක් මසයිද?” -පෙ-
“උදායි, ඔබ භික්ෂුණියකට සිවුරක් මැසුවේ සැබෑද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
“උදායි, (ඒ භික්ෂුණිය) ඔබගේ නෑදෑ තැනැත්තියක්ද, නෑදෑ නොවන තැනැත්තියක්ද?”
“භාග්‍යවතුන් වහන්ස, නෑදෑ නොවන තැනැත්තියකි.”
“හිස් පුරුෂය, නෑදෑයෙක් නොවන තැනැත්තා නෑදෑ නොවන භික්ෂුණියකට සුදුසු දේ හෝ නුසුදුසු දේ හෝ, මනාප දේ හෝ අමනාප දේ හෝ නොදනී. හිස් පුරුෂය, කෙසේ නම් ඔබ නෑදෑ නොවන භික්ෂුණියකට සිවුරක් මැසුවෙහිද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් නෑදෑ නොවන භික්ෂුණියකට සිවුරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
5. යො පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛූ යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
අඤ්ඤාතිකා (නෑදෑ නොවන තැනැත්තිය) නම්: මව් පැත්තෙන් හෝ පිය පැත්තෙන් හෝ සත්වන පරම්පරාව දක්වා ලේ ඥාති සම්බන්ධයක් නැති තැනැත්තියයි.
භික්ඛුනී නම්: භික්ෂු සංඝයා හා භික්ෂුණී සංඝයා යන දෙපිරිස කෙරෙහිම උපසම්පදාව ලැබූ තැනැත්තිය යි.
චීවර (සිවුර) නම්: සය වර්ගයේ සිවුරු අතුරෙන් එක් සිවුරකි.
සිබ්බෙය්ය (මසයි නම්) යනු: තමා මසයි නම්, ඉඳිකටුව ඇතුළු කොට පිටතට ගන්නා එක් එක් මැස්මක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
සිබ්බාපෙය්ය (මස්වයි නම්) යනු: වෙනත් කෙනෙකුට අණ කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. එක් වරක් අණ කරන ලද තැනැත්තා බොහෝ වාරයක් මැසුවද පාචිත්තිය ඇවැත් වේ.
නෑදෑ නොවන භික්ෂුණියක් කෙරෙහි නෑදෑ නොවන තැනැත්තියක් යැයි හඟිමින් සිවුරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. නෑදෑ නොවන භික්ෂුණියක් කෙරෙහි සැක ඇතිව සිවුරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. නෑදෑ නොවන භික්ෂුණියක් කෙරෙහි නෑදෑ භික්ෂුණියක් යැයි හඟිමින් සිවුරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
භික්ෂුණී සංඝයා කෙරෙහි පමණක් උපසම්පදාව ලැබූ තැනැත්තියකට සිවුරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ දුක්කට ඇවැත් වේ. නෑදෑ භික්ෂුණියක් කෙරෙහි නෑදෑ නොවන තැනැත්තියක් යැයි හඟියි නම් දුක්කට ඇවැත් වේ. නෑදෑ භික්ෂුණියක් කෙරෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. නෑදෑ භික්ෂුණියක් කෙරෙහි නෑදෑ භික්ෂුණියක් යැයි හඟියි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: නෑදෑ භික්ෂුණියකට සිවුර හැර වෙනත් පිරිකරක් මසයි නම් හෝ මස්වයි නම් හෝ ඇවැත් නැත. සික්ඛමානාවකට, සාමණේරියකට මසයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවැනි චීවරසිබ්බන ශික්ෂාපදය යි.