6. 3. 10.
රහෝනිසජ්ජ ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩවසන සේක. එකල ආයුෂ්මත් උදායී තෙරුන්ගේ පැරණි බිරිඳ භික්ෂුණීන් අතර පැවිදි වී සිටියාය. ඈ නිතර නිතර ආයුෂ්මත් උදායී තෙරුන් ළඟට එයි. ආයුෂ්මත් උදායී තෙරුන් ද නිතර නිතර ඒ භික්ෂුණිය ළඟට යති. එක් කලෙක ආයුෂ්මත් උදායී තෙරුන් තනිවම, තනිව සිටි ඒ භික්ෂුණිය සමඟ රහසිගත තැනක (පිළිසන් තැනක) හිඳගත්හ.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආයුෂ්මත් උදායී තනිවම, තනි භික්ෂුණියක සමඟ රහසිගත තැනක හිඳගන්නේ කෙසේ නම් ද?” -පෙ- “උදායී, ඔබ තනිවම, තනි භික්ෂුණියක සමඟ රහසිගත තැනක හිඳගත් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, ඔබ තනිවම, තනි භික්ෂුණියක සමඟ රහසිගත තැනක හිඳගන්නේ කෙසේ නම් ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් තනිවම, තනි භික්ෂුණියක සමඟ රහසිගත තැනක (පිළිසන් තැනක) හිඳගන්නේ නම් පාචිත්තිය වේ.”
3. යො පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
භික්ඛුනී යනු: භික්ෂු සංඝයා හා භික්ෂුණී සංඝයා යන දෙපිරිස කෙරෙහිම උපසම්පදාව ලැබූ තැනැත්තිය යි.
සද්ධිං යනු: එක්ව ය.
එකො එකාය යනු: (එතැන සිටින්නේ) භික්ෂුවත් භික්ෂුණියත් පමණක් ය.
රහෝ යනු: ඇසට රහසිගත වීම ද, කනට රහසිගත වීම ද ය. චක්ඛුස්ස රහෝ (ඇසට රහසිගත) යනු: ඇස් කසන විට හෝ, ඇහිබැම ඔසවන විට හෝ, හිස ඔසවන විට හෝ දැකිය නොහැකි වීම ය. සෝතස්ස රහෝ (කනට රහසිගත) යනු: සාමාන්‍ය කතාබහ ඇසිය නොහැකි වීම ය.
නිසජ්ජං කප්පෙය්ය යනු: භික්ෂුණිය හිඳගෙන සිටින විට භික්ෂුව ඇය ළඟ හිඳගත්තේ නම් හෝ ඇය ළඟ වැතිර සිටියේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. භික්ෂුව හිඳගෙන සිටින විට භික්ෂුණිය ඔහු ළඟ හිඳගත්තී නම් හෝ ඔහු ළඟ වැතිර සිටියී නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. දෙදෙනාම හිඳගෙන සිටියි නම් හෝ දෙදෙනාම වැතිර සිටියි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
රහසිගත තැනක, රහසිගත තැනක් යැයි හඟිමින් භික්ෂුව තනිවම, තනි භික්ෂුණියක සමඟ හිඳගනී නම් පාචිත්තිය ඇවැත් වේ. රහසිගත තැනක, ඒ ගැන සැක ඇතිව භික්ෂුව තනිවම, තනි භික්ෂුණියක සමඟ හිඳගනී නම් පාචිත්තිය ඇවැත් වේ. රහසිගත තැනක, විවෘත තැනක් යැයි හඟිමින් භික්ෂුව තනිවම, තනි භික්ෂුණියක සමඟ හිඳගනී නම් පාචිත්තිය ඇවැත් වේ.