6. 2. 4.
පළමුවන සේනාසන ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩවාසය කරන සේක. එකල්හි භික්ෂූහු හේමන්ත කාලයෙහි (හිම වැටෙන කාලයෙහි) එළිමහනේ සෙනසුන් (ඇඳ, පුටු ආදිය) පනවා (ඒවායේ හිඳ, උදෑසන අව්වෙන්) සිරුර තවමින් සිට, (කැඳ, බත් ආදියට) කාලය දැනුම් දුන් කල්හි එතැනින් පිටත්ව යන්නෝ, ඒ සෙනසුන් තමන් ද ඉවත් කොට තැන්පත් නොකළහ, අනුන් ලවා ද තැන්පත් නොකරවූහ, නොවිචාරා ම පිටත්ව ගියහ. සෙනසුන් (හිම වැස්සෙන්) තෙමුණේ ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූහු වෙත් ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂූහු එළිමහනේ සෙනසුන් පනවා, පිටත්ව යන්නෝ එය තමන් ද තැන්පත් නොකරන්නාහු ද, අනුන් ලවා ද තැන්පත් නොකරවන්නාහු ද, නොවිචාරා ම පිටත්ව යන්නාහු ද? සෙනසුන් (හිම වැස්සෙන්) තෙමුණේ ය” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. -පෙ- “මහණෙනි, භික්ෂූහු එළිමහනේ -පෙ- සැබෑ ද?” -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් සංඝයාට අයත් ඇඳක් හෝ පුටුවක් හෝ මෙට්ටයක් හෝ බඳ වෙළුමක් (කොච්ඡයක්) හෝ එළිමහනේ තමන් අතුරා හෝ අනුන් ලවා අතුරවා හෝ, පිටත්ව යන්නේ එය තමන් තැන්පත් නොකරන්නේ නම් හෝ, අනුන් ලවා ද තැන්පත් නොකරවන්නේ නම් හෝ, නොවිචාරා යන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ” යි.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මේ ශික්ෂාපදය ද භික්ෂූන්ට පනවන ලද්දේ වේ.
2. එකල්හි භික්ෂූහු එළිමහනේ වාසය කොට, කල් ඇතිව ම සෙනසුන් (ඇතුළට) ගෙන යති. භාග්‍යවතුන් වහන්සේ කල් ඇතිව ම සෙනසුන් ගෙන යන ඒ භික්ෂූන් දුටු සේක. දැක මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වැසි කාලය ලෙස නොසලකන (හේමන්ත, ගිම්හාන යන) අට මාසයෙහි, කපුටන් හෝ උකුස්සන් හෝ මල පහ නොකරන යම් තැනක් වේ නම්, එබඳු මඩුවක හෝ ගසක් මුල හෝ සෙනසුන් තැබීමට අනුමත කරමි” යි.
3. යො පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු යි.
සඞ්ඝික නම්: සංඝයාට දෙන ලද, පරිත්‍යාග කරන ලද දෙයකි.
මඤ්ච නම්: මසාරක (ඇඳ කකුල් සිදුරු කොට ඒවාට ඇඳේ දිග ලී ඇතුළු කොට සාදන ලද ඇඳ), බුන්දිකාබද්ධ (ඇඳේ දිග ලීවලට කකුල් සවි කොට පලඟක් මෙන් සාදන ලද ඇඳ), කුළීරපාදක (අශ්වයන්, බැටළුවන් ආදීන්ගේ කකුල් වැනි කකුල් ඇති හෝ ඇද කකුල් ඇති ඇඳ), ආහච්චපාදක යන ඇඳ වර්ග හතරකි.
පීඨ නම්: මසාරක, බුන්දිකාබද්ධ, කුළීරපාදක, ආහච්චපාදක යන පුටු වර්ග හතරකි.
භිසි නම්: උණ්ණාභිසි (ලොම් පිරවූ මෙට්ටය), චෝළභිසි (රෙදි පිරවූ මෙට්ටය), වාකභිසි (වැහැරි පිරවූ මෙට්ටය), තිණභිසි (තණ පිරවූ මෙට්ටය), පණ්ණභිසි (කොළ පිරවූ මෙට්ටය) යන මෙට්ට වර්ග පහකි.
කොච්ඡ නම්: වැහැරියෙන් හෝ සුවඳ හොටවලින් (සෑවැන් මුලින්) හෝ මුදු තණෙන් හෝ බබුස් තණෙන් හෝ සාදා, ඇතුළට හොඳින් වෙළා බඳින ලද (යට හා උඩ පළල්ව, මැද සිහින්ව බඳින ලද) ආසනයකි.
සන්ථරිත්වා යනු: තමන් ම අතුරා. සන්ථරාපෙත්වා යනු: අනෙකෙකු ලවා අතුරවා. උපසම්පදාව නොලත් කෙනෙකු ලවා අතුරවයි නම්, (අතුරවූ) ඔහුට එහි වගකීම (පළිබෝධය) වේ. උපසම්පදාව ලත් කෙනෙකු ලවා අතුරවයි නම්, ඇතිරූ තැනැත්තාට එහි වගකීම වේ.
තං පක්කමන්තො නෙව උද්ධරෙය්‍ය යනු: (පිටත්ව යන්නේ) තමන් ම තැන්පත් නොකරන්නේ නම්. න උද්ධරාපෙය්‍ය යනු: අනෙකෙකු ලවා ද තැන්පත් නොකරවන්නේ නම්. අනාපුච්ඡං වා ගච්ඡෙය්‍ය යනු: භික්ෂුවකගෙන් හෝ සාමණේරයකුගෙන් හෝ ආරාමිකයකුගෙන් (ආරාමයේ සේවය කරන්නෙකුගෙන්) හෝ නොවිචාරා, මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයෙකු විසි කරන ගල් කැටයක් වැටෙන දුර ඉක්මවා යන්නාට පාචිත්තිය ඇවැත් වේ.
4. සංඝයාට අයත් දෙයක් සංඝයාට අයත් යැයි හඟින භික්ෂුව එය එළිමහනේ අතුරා හෝ අතුරවා හෝ පිටත්ව යන්නේ, එය තමන් ම තැන්පත් නොකරන්නේ නම්, අනෙකෙකු ලවා ද තැන්පත් නොකරවන්නේ නම්, නොවිචාරා හෝ යන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ. සංඝයාට අයත් දෙයක් ගැන සැක ඇති භික්ෂුව -පෙ- සංඝයාට අයත් දෙයක් පුද්ගලයෙකුට අයත් යැයි හඟින භික්ෂුව එය එළිමහනේ අතුරා හෝ අතුරවා හෝ පිටත්ව යන්නේ, එය තමන් ම තැන්පත් නොකරන්නේ නම්, අනෙකෙකු ලවා ද තැන්පත් නොකරවන්නේ නම්, නොවිචාරා හෝ යන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.