6. 1. 6.
එකට නිදා ගැනීම පිළිබඳ දෙවැනි ශික්ෂාපදය (දුතිය සහසෙය්‍ය ශික්ෂාපදය)
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ කොසොල් රටෙහි සැවැත් නුවර බලා වඩිමින් සවස් වේලෙහි එක්තරා ගමකට පැමිණියහ. එකල්හි ඒ ගමෙහි එක්තරා ස්ත්‍රියක් පින් කැමැත්තෙන් ආගන්තුකයන්ට නවාතැන් ගැනීම සඳහා ශාලාවක් කරවා තබා තිබුණාය. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඒ ස්ත්‍රිය වෙත පැමිණ ඇයට මෙසේ කීහ: “නැගණිය, ඔබට බරක් නොවේ නම්, අපි එක් රැයක් නවාතැන් ශාලාවෙහි වසන්නෙමු.” “වසනු මැනව, ස්වාමීනි.” අන් මගීහු ද ඒ ස්ත්‍රිය වෙත පැමිණියහ. පැමිණ ඒ ස්ත්‍රියට මෙසේ කීහ: “මහත්මියනි, ඔබට බරක් නොවේ නම්, අපි එක් රැයක් නවාතැන් ශාලාවෙහි වසන්නෙමු.” “මේ ආර්ය වූ ශ්‍රමණයන් වහන්සේ පළමුවෙන් පැමිණියහ. උන්වහන්සේ අනුමත කරත් නම් වසන්න” යි ඇය කීවාය. එකල්හි ඒ මගීහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙසේ කීහ: “ස්වාමීනි, ඔබවහන්සේට බරක් නොවේ නම්, අපි එක් රැයක් නවාතැන් ශාලාවෙහි වසන්නෙමු.” “ඇවැත්නි, වසන්න.”
2. එකල්හි ඒ ස්ත්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ දුටු සැණින්ම උන්වහන්සේ කෙරෙහි බැඳුණු සිත් ඇත්තී වූවාය. එකල්හි ඒ ස්ත්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ වෙත පැමිණ, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙසේ කීවාය: “ස්වාමීනි, ආර්යයන් වහන්සේ මේ මිනිසුන් සමඟ ගැවසී පහසුවෙන් වාසය නොකරනු ඇත. ස්වාමීනි, මම ආර්යයන් වහන්සේට ඇතුළු කාමරයෙහි ඇඳක් පනවන්නෙම් නම් මැනවි.” ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ නිහඬව සිටීමෙන් එයට එකඟ වූහ. එකල්හි ඒ ස්ත්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේට ඇතුළු කාමරයෙහි ඇඳක් පනවා, ආභරණ පැළඳ සැරසී, සුවඳින් සුවඳවත් වී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේට “ස්වාමීනි, ආර්යයන් වහන්සේ රූපවත් ය, දැකුම්කලු ය, පැහැදීම ඇති කරවන සුළු ය. මම ද රූපවත් වෙමි, දැකුම්කලු වෙමි, පැහැදීම ඇති කරවන සුළු වෙමි. ස්වාමීනි, මම ආර්යයන් වහන්සේගේ භාර්යාව වන්නෙම් නම් මැනවි” යි කීවාය. මෙසේ කී කල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ නිහඬව සිටියහ. දෙවන වරටත් -පෙ- තුන්වන වරටත් ඒ ස්ත්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේට “ස්වාමීනි, ආර්යයන් වහන්සේ රූපවත් ය, දැකුම්කලු ය, පැහැදීම ඇති කරවන සුළු ය. මම ද රූපවත් වෙමි, දැකුම්කලු වෙමි, පැහැදීම ඇති කරවන සුළු වෙමි. ස්වාමීනි, ආර්යයන් වහන්සේ මා ද මගේ මුළු වස්තුව ද පිළිගන්නා සේක්වා” යි කීවාය. තුන්වන වරටත් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ නිහඬව සිටියහ.
3. එවිට ඒ ස්ත්‍රිය සළුව ගලවා තබා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඉදිරියෙහි සක්මන් කරයි, සිටියි, හිඳියි, නිදා ගනියි. එවිට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඉඳුරන් (ඇස් ආදිය) පහතට හෙළා ඒ ස්ත්‍රිය දෙස බැලුවේත් නැත, ඇය සමඟ කතා කළේත් නැත. එවිට ඒ ස්ත්‍රිය “භවත්නි, ඒකාන්තයෙන්ම මෙය පුදුමයකි. භවත්නි, ඒකාන්තයෙන්ම මෙය අරුමයකි. බොහෝ මිනිසුන් සියයක් ද දහසක් ද දී මට තෑගි එවති. එහෙත් මේ ශ්‍රමණයන් වහන්සේ මා විසින්ම ඉල්ලා සිටියදී මා ද මුළු වස්තුව ද පිළිගන්නට කැමති නොවෙති” කියා සළුව හැඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පා මුල හිස තබා වැඳ වැටී ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, මෙසේ කළ මා අඥාන බවට ගැළපෙන ලෙස, මුළා වූ බවට ගැළපෙන ලෙස, අදක්ෂ බවට ගැළපෙන ලෙස වරදක් කළෙමි (වරද මා ඉක්මවා ගියේය). ස්වාමීනි, මතු සංවර වීම පිණිස ආර්යයන් වහන්සේ මාගේ ඒ වරද වරදක් ලෙස පිළිගන්නා සේක්වා.” “නැගණිය, මෙසේ කළ ඔබ ඒකාන්තයෙන්ම අඥාන බවට ගැළපෙන ලෙස, මුළා වූ බවට ගැළපෙන ලෙස, අදක්ෂ බවට ගැළපෙන ලෙස වරදක් කළෙහිය. නැගණිය, යම් හෙයකින් ඔබ වරද වරදක් ලෙස දැක ධර්මයට අනුව පිළියම් කරන්නෙහි ද, ඔබගේ ඒ වරද අපි පිළිගනිමු. නැගණිය, යමෙක් වරද වරදක් ලෙස දැක ධර්මයට අනුව පිළියම් කරයි ද, මතු සංවර වෙයි ද, එය ආර්ය විනයෙහි (බුදු සසුනෙහි) දියුණුවක්මය.”
4. එවිට ඒ ස්ත්‍රිය ඒ රාත්‍රිය ගෙවී ගිය පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ප්‍රණීත වූ කෑ යුතු දෙයින් ද බුදිය යුතු දෙයින් ද සියතින්ම සතපවා, ඇති යැයි කියන තෙක් මැනවින් පිළිගන්වා, වළඳා අවසන් කොට පාත්‍රයෙන් අත ඉවත් කළ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගෞරවයෙන් වැඳ එක් පසෙක හිඳ ගත්තාය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් එක් පසෙක හුන් ඒ ස්ත්‍රියට ධර්ම කතාවෙන් කරුණු මැනවින් පෙන්වා දුන්හ, ඒ කරුණු මැනවින් සිතට ගැන්වූහ, මැනවින් උත්සාහවත් කළහ, මැනවින් සතුටු කළහ. එවිට ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් විසින් ධර්ම කතාවෙන් කරුණු මැනවින් පෙන්වා දෙන ලද, මැනවින් සිතට ගන්වන ලද, මැනවින් උත්සාහවත් කරන ලද, මැනවින් සතුටු කරන ලද ඒ ස්ත්‍රිය ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙසේ කීවාය: “ස්වාමීනි, ඉතා මැනවි. ස්වාමීනි, ඉතා මැනවි. යටිකුරු කළ දෙයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වැසී තිබූ දෙයක් විවෘත කරන්නේ යම් සේ ද, මං මුළා වූවකුට මඟ කියා දෙන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වා යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ යම් සේ ද, එසෙයින්ම ආර්ය අනුරුද්ධයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මය ප්‍රකාශ කරන ලදී. ස්වාමීනි, මම ඒ භාග්‍යවතුන් වහන්සේ ද, ධර්මය ද, භික්ෂු සංඝයා ද සරණ යමි. ආර්යයන් වහන්සේ අද පටන් දිවි ඇති තෙක් සරණ ගිය උපාසිකාවක ලෙස මා දරන සේක්වා.”
5. ඉන්පසු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සැවැත් නුවරට ගොස් මේ කරුණ භික්ෂූන්ට දැනුම් දුන්හ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද -පෙ- උන්වහන්සේලා “ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් කෙසේ නම් ස්ත්‍රියක් සමඟ එකට නිදා ගනිත් ද” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. එවිට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැනුම් දුන්හ.