6. 1. 7.
ධම්මදේසනා ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ සැවැත් නුවර කුලයන් වෙත යන කෙනෙක් වූහ. බොහෝ කුලවලට යති. එකල්හි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන එක්තරා කුලයකට ගියහ. ඒ වේලාවේ ගෙහිමිකාරිය නිවසේ මහ දොරටුව ළඟ හිඳ සිටියාය. ඒ ගෙදර ලේලිය ඇතුළු කාමරයේ දොර ළඟ හිඳ සිටියාය. එවිට ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ගෙහිමිකාරිය වෙත ගියහ. ගොස් ගෙහිමිකාරියගේ කන ළඟ දහම් දෙසති. එවිට ඒ ගෙදර ලේලියට මේ සිතුවිල්ල ඇති විය: “කිම, මේ මහණ නැන්දම්මාගේ රහස් පෙම්වතෙක් ද? නැතහොත් නුසුදුසු වචන කියනවා ද?”
2. ඉක්බිති ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ගෙහිමිකාරියගේ කන ළඟ දහම් දෙසා ඒ ගෙදර ලේලිය වෙත ගියහ. ගොස් ඒ ගෙදර ලේලියගේ කන ළඟ දහම් දෙසති. එවිට ගෙහිමිකාරියට මේ සිතුවිල්ල ඇති විය: “කිම, මේ මහණ ලේලියගේ රහස් පෙම්වතෙක් ද? නැතහොත් නුසුදුසු වචන කියනවා ද?”
3. එකල්හි ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ඒ ගෙදර ලේලියගේ කන ළඟ දහම් දෙසා පිටත්ව ගියහ. එවිට ගෙහිමිකාරිය ලේලියට මෙසේ කීවාය: “එම්බා කෙල්ල, ඒ මහණ ඔබට කුමක් කීවේ ද?” “ආර්යාවෙනි, මට දහම් දෙසුවේය. ආර්යාවට කුමක් කීවේ ද?” “මට ද දහම් දෙසුවේය.” ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්ය උදායී තෙරුන් වහන්සේ ස්ත්‍රියකගේ කන ළඟ දහම් දෙසන්නේ ද? හොඳින් පිටවන හඬින්, පැහැදිලිව ඇසෙන හඬින් දහම් දෙසිය යුතු නොවේ ද?”
4. භික්ෂූහු හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ ස්ත්‍රීන්ගේ (අපකීර්ති වචන) ඇසූහ. යම් ඒ භික්ෂූන් කෙනෙක් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආයුෂ්මත් උදායී තෙරුන් වහන්සේ ස්ත්‍රියකට දහම් දෙසන්නේ ද?” එකල්හි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ -පෙ-
“උදායිය, නුඹ ස්ත්‍රියකට දහම් දෙසූ බව සැබෑ ද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.”
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් නුඹ ස්ත්‍රියකට දහම් දෙසන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ස්ත්‍රියකට දහම් දෙසන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
5. ඒ කාලයෙහි උපාසිකාවෝ භික්ෂූන් දැක “ස්වාමීනි, දහම් දෙසන සේක්වා” යි කීහ. “නැගණියෙනි, ස්ත්‍රියකට දහම් දෙසන්නට නොවටී.” “එසේ නම් ස්වාමීනි, පද හයකින් පහකින් හෝ දහම් දෙසන සේක්වා. එපමණකින් වුව අවබෝධ කර ගන්නට හැකිය.” “නැගණියෙනි, ස්ත්‍රියකට දහම් දෙසන්නට කැප නොවේ” යි සැක කරමින් ඔවුහු දහම් නොදෙසූහ. උපාසිකාවෝ හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යයන් වහන්සේලා අප ඉල්ලා සිටියදීත් දහම් නොදෙසන්නාහු ද?” භික්ෂූහු හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසිකාවන්ගේ (අපකීර්ති වචන) ඇසූහ. එකල්හි ඒ භික්ෂූහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ස්ත්‍රියකට පද හයකින් පහකින් දහම් දෙසන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):”
“යම් භික්ෂුවක් ස්ත්‍රියකට පද හයකට පහකට වඩා දහම් දෙසන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
6. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූහු (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) “ස්ත්‍රියකට පද හයකින් පහකින් දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේකැ” යි සිතා, නුවණ නැති පිරිමියෙකු ළඟින් හිඳුවාගෙන ස්ත්‍රීන්ට පද හයකට පහකට වඩා දහම් දෙසති. යම් ඒ භික්ෂූන් කෙනෙක් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු නුවණ නැති පිරිමියෙකු ළඟින් හිඳුවාගෙන ස්ත්‍රීන්ට පද හයකට පහකට වඩා දහම් දෙසන්නාහු ද?”