6. 1. 10.
පඨවිඛණන ශික්ෂාපදය (පොළොව කැණීම ගැන ශික්ෂාපදය)
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආළවි නුවර අග්ගාළව චෛත්‍යයෙහි වැඩ වසන සේක. එකල ආළවි නුවර වැසි භික්ෂූන් අලුත් ගොඩනැගිලි වැඩ (නවකම්ම) කරමින් පොළොව කණිති, අනුන් ලවා කණවති. මිනිස්සු: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ පොළොව කැණුවෝ ද? අනුන් ලවා කැණෙව්වෝ ද? ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ එක් ඉන්ද්‍රියයක් ඇති ජීවයට (ඒකින්ද්‍රිය ජීවය) හිංසා කළෝ ය” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. මෙසේ හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිය දනවන) කතාව භික්ෂූන්ට ඇසිණි.
2. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු: “කෙසේ නම් ආළවි නුවර වැසි භික්ෂූන් පොළොව කැණුවෝ ද? අනුන් ලවා කැණෙව්වෝ ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, ඔබ පොළොව කැණූ බවත් අනුන් ලවා කැණෙවූ බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් පොළොව කැණුවහු ද? අනුන් ලවා කැණෙව්වහු ද? හිස් පුරුෂයෙනි, මිනිස්සු පොළොවෙහි ජීවයක් ඇතැයි සලකති. හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් පොළොව කණින්නේ නම් හෝ අනුන් ලවා කණවන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යො පන (යමෙක්) යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
පඨවි (පොළොව) නම්: ජාත පඨවිය ද අජාත පඨවිය ද යි පොළොව දෙවර්ගයකි. ජාත පඨවි නම්: හුදු පස් ඇති, හුදු මැටි ඇති, ගල් මඳ වූ, කුඩා ගල් (මිටක් පමණ ගල්) මඳ වූ, කැබිලිති (වළං කැබලි) මඳ වූ, බොරළු මඳ වූ, වැලි මඳ වූ, බොහෝ සෙයින් පස් ඇති, බොහෝ සෙයින් මැටි ඇති පොළොව යි. නොදැවුණු පොළොව ද ජාත පඨවි යයි කියනු ලැබේ. යම් පස් ගොඩක් හෝ මැටි ගොඩක් හෝ සාර මසකට වඩා කාලයක් වැස්සෙන් තෙමී ඇත්නම්, එය ද ජාත පඨවි යයි කියනු ලැබේ. අජාත පඨවි නම්: හුදු ගල් ඇති, හුදු කුඩා ගල් ඇති, හුදු කැබිලිති ඇති, හුදු බොරළු ඇති, හුදු වැලි ඇති, පස් මඳ වූ, මැටි මඳ වූ, බොහෝ සෙයින් ගල් ඇති, බොහෝ සෙයින් කුඩා ගල් ඇති, බොහෝ සෙයින් කැබිලිති ඇති, බොහෝ සෙයින් බොරළු ඇති, බොහෝ සෙයින් වැලි ඇති පොළොව යි. දැවුණු පොළොව ද අජාත පඨවි යයි කියනු ලැබේ. යම් පස් ගොඩක් හෝ මැටි ගොඩක් හෝ සාර මසකට අඩු කාලයක් වැස්සෙන් තෙමී ඇත්නම්, එය ද අජාත පඨවි යයි කියනු ලැබේ.
ඛණෙය්‍ය (කණින්නේ නම්) යනු: තමා කණී නම් පාචිත්තිය ඇවැත් වේ. ඛණාපෙය්‍ය (කණවන්නේ නම්) යනු: අනෙකෙකුට අණ කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. එක් වරක් අණ කළ විට ඔහු බොහෝ වර කැණුව ද පාචිත්තිය ඇවැත් වේ.
පොළොව පොළොව යැයි සිතන්නේ කණී නම් හෝ කණවයි නම් හෝ, බිඳී නම් හෝ බිඳවයි නම් හෝ, දවයි නම් හෝ දවවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. පොළොව ගැන සැක ඇත්තේ කණී නම් හෝ කණවයි නම් හෝ, බිඳී නම් හෝ බිඳවයි නම් හෝ, දවයි නම් හෝ දවවයි නම් හෝ දුක්කට ඇවැත් වේ. පොළොව පොළොව නොවේ යැයි සිතන්නේ කණී නම් හෝ කණවයි නම් හෝ, බිඳී නම් හෝ බිඳවයි නම් හෝ, දවයි නම් හෝ දවවයි නම් හෝ ඇවැත් නැත.
පොළොව නොවන දෙයක් පොළොව යැයි සිතන්නේ නම් දුක්කට ඇවැත් වේ. පොළොව නොවන දෙයක් ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. පොළොව නොවන දෙයක් පොළොව නොවේ යැයි සිතන්නේ නම් ඇවැත් නැත.
ඇවැත් නැත: “මෙය දැනගන්න, මෙය දෙන්න, මෙය ගෙනෙන්න, මෙයින් වැඩක් ඇත, මෙය කැප කරන්න” යි කියයි නම්, නොසිතා (බිඳින්නාට), සිහියෙන් තොරව (වෙනත් දෙයක සිත යොදා සිටිමින් කරන්නාට), නොදන්නාට, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දහවැනි පඨවිඛණන ශික්ෂාපදය යි.
පළමුවැනි මුසාවාද වර්ගය නිමියි.
එහි උද්දානය (කෙටි මාතෘකා පෙළ):
මුසාවාදය, ඔමසවාදය, පෙසුඤ්ඤය, පදසෝධම්මය, සහසෙය්‍ය දෙක, නුවණැති පුරුෂයෙකු නැතිව කරන ධර්ම දේශනාව, භූතාරෝචනය, දුට්ඨුල්ලාරෝචනය සහ පඨවිඛණනය ය.