8.
චීවර ඛන්ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වාසය කරන සේක. ඒ කාලයෙහි වේසාලි නගරය දියුණු වූයේ ද, සැපතින් පිරී ගියේ ද වෙයි. බොහෝ ජනයා ඇත්තේ ද, මිනිසුන්ගෙන් ගැවසී ගත්තේ ද, පහසුවෙන් ලැබිය හැකි ආහාර (භික්ෂා) ඇත්තේ ද වෙයි. එහි හත්දහස් හත්සිය හතක් ප්‍රාසාද ද ඇත. හත්දහස් හත්සිය හතක් කුළුගෙවල් ද ඇත. හත්දහස් හත්සිය හතක් ආරාම ද ඇත. හත්දහස් හත්සිය හතක් පොකුණු ද ඇත. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය, දැකුම්කලු ය, පැහැදීම ඇති කරන්නී ය, උතුම් වූ රූප සෞන්දර්යයෙන් යුක්ත වූවා ය. නැටීමෙහි ද, ගී ගැයීමෙහි ද, වාදනය කිරීමෙහි ද දක්ෂ වූවා ය. ඇය අවශ්‍ය වූ මිනිසුන් ඇය වෙත යති. ඇය එක් රැයකට කහවණු පනහක් ගෙන යයි. ඇය නිසා වේසාලිය වඩාත් අලංකාර වෙයි.
2. එකල්හි රජගහනුවර වැසි කෙළෙඹි (ගෘහපති) සමූහයක් කිසියම් කටයුත්තක් නිසා වේසාලියට ගියේ ය. රජගහනුවර වැසි කෙළෙඹියෝ දියුණු වූ, සැපතින් පිරුණු, බොහෝ ජනයා ඇති, මිනිසුන්ගෙන් ගැවසී ගත්, පහසුවෙන් ලැබිය හැකි ආහාර ඇති වේසාලිය ද, හත්දහස් හත්සිය හතක් ප්‍රාසාද ද, හත්දහස් හත්සිය හතක් කුළුගෙවල් ද, හත්දහස් හත්සිය හතක් ආරාම ද, හත්දහස් හත්සිය හතක් පොකුණු ද, මනා රූ ඇති, දැකුම්කලු වූ, පැහැදීම ඇති කරන, උතුම් වූ රූප සෞන්දර්යයෙන් යුත්, නැටීමෙහි ද ගී ගැයීමෙහි ද වාදනය කිරීමෙහි ද දක්ෂ වූ, ඇය අවශ්‍ය වූ මිනිසුන් ඇය වෙත එළඹෙන, එක් රැයකට කහවණු පනහක් ගෙන යන (= අය කරන) අම්බපාලි ගණිකාව ද, ඇය නිසා වඩාත් අලංකාර වූ වේසාලිය ද දුටුවෝ ය.
3. ඉක්බිති රජගහනුවර වැසි කෙළෙඹි සමූහය වේසාලියෙහි ඒ කටයුත්ත අවසන් කොට නැවත රජගහනුවරට පෙරළා ආයේ ය. මගධ රජු වූ, සේනා ඇති බිම්බිසාර රජු වෙත ගියේ ය. ගොස් මගධ රජු වූ, සේනා ඇති බිම්බිසාර රජුට මෙසේ කීයේ ය: “දේවයන් වහන්ස, වේසාලිය දියුණු ය, සැපතින් පිරී ඇත. බොහෝ ජනයා ඇත, මිනිසුන්ගෙන් ගැවසී ගෙන ඇත. පහසුවෙන් ලැබිය හැකි ආහාර ද ඇත. හත්දහස් හත්සිය හතක් ප්‍රාසාද ද ඇත. හත්දහස් හත්සිය හතක් කුළුගෙවල් ද ඇත. හත්දහස් හත්සිය හතක් ආරාම ද ඇත. හත්දහස් හත්සිය හතක් පොකුණු ද ඇත. අම්බපාලි ගණිකාව ද මනා රූ ඇත්තී ය, දැකුම්කලු ය, පැහැදීම ඇති කරන්නී ය, උතුම් වූ රූප සෞන්දර්යයෙන් යුක්ත ය. නැටීමෙහි ද ගී ගැයීමෙහි ද වාදනය කිරීමෙහි ද දක්ෂ ය. ඇය අවශ්‍ය වූ මිනිසුන් ඇය වෙත එළඹෙති. ඇය එක් රැයකට කහවණු පනහක් ගෙන යයි (= අය කරයි). ඇය නිසා වේසාලිය වඩාත් අලංකාර වෙයි. දේවයන් වහන්ස, අපිත් ගණිකාවක් පත් කර තබන්නේ නම් යහපති.” “එම්බා, එසේ නම් ඔබලා එබඳු ගණිකාවක් පත් කරන්නහු නම්, එබඳු කුමරියක් සොයා දැනගනිවු” යි රජතුමා කීයේ ය.
4. ඒ කාලයෙහි රජගහනුවර සාලවතී නම් කුමරිය මනා රූ ඇත්තී ය, දැකුම්කලු ය, පැහැදීම ඇති කරන්නී ය, උතුම් වූ රූප සෞන්දර්යයෙන් යුක්ත වූවා ය. එහෙයින් රජගහනුවර වැසි කෙළෙඹි සමූහය සාලවතී කුමරිය ගණිකාවක කොට පත් කළේ ය. ඉක්බිති සාලවතී ගණිකාව නොබෝ කලකින් ම නැටීමෙහි ද ගී ගැයීමෙහි ද වාදනය කිරීමෙහි ද දක්ෂ වූවා ය. ඇය අවශ්‍ය වූ මිනිසුන් ඇය වෙත එළඹියහ. ඇය එක් රැයකට කහවණු සියය බැගින් ගෙන යයි.
5. ඉක්බිති සාලවතී ගණිකාව නොබෝ කලකින් ම ගැබිනියක් වූවා ය. එකල්හි සාලවතී ගණිකාවට මෙසේ සිතුණේ ය: “ගැබිනි වූ ස්ත්‍රිය පුරුෂයන්ට අප්‍රිය වෙයි. ‘සාලවතී ගණිකාව ගැබිනියකැ’ යි කිසිවෙක් මා ගැන දැනගන්නේ නම්, මට ලැබෙන සියලු සත්කාර පිරිහී යන්නේ ය. මම ගිලන් වී සිටිමි යි දන්වන්නේ නම් යහපති.” ඉක්බිති සාලවතී ගණිකාව “එම්බා දොරටුපාලය, කිසි පුරුෂයෙක් (මා වෙත) ඇතුළු නොවේවා. යමෙක් මා ගැන විචාරයි නම්, ගිලන් වී සිටින්නී යැයි දන්වන්න” යි දොරටුපාලයාට අණ කළා ය. ඒ දොරටුපාලයා “ආර්යාවෙනි, එසේ ය” යි සාලවතී ගණිකාවට පිළිතුරු දුන්නේ ය. ඉක්බිති සාලවතී ගණිකාව ඒ දරුගැබ මේරීමෙන් පුතකු වැදුවා ය. එකල්හි සාලවතී ගණිකාව “කෙල්ල, එව, මේ දරුවා දිරාපත් වූ කුල්ලක දමා ගෙන ගොස් කසළ ගොඩක දමන්න” යි දාසියට අණ කළා ය. “ආර්යාවෙනි, එසේ ය” යි ඒ දාසිය සාලවතී ගණිකාවට පිළිතුරු දී ඒ දරුවා දිරාපත් වූ කුල්ලක දමා ගෙන ගොස් කසළ ගොඩක දැමුවා ය.
6. ඒ වේලෙහි අභය නම් රාජකුමාරයා කලින් ම (= උදෑසන ම) රජු හමුවට යමින් සිටියදී, කපුටන් විසින් වට කරගෙන සිටි ඒ දරුවා දුටුවේ ය. දැක “එම්බා, කපුටන් විසින් වට කරගෙන සිටින මේ කුමක් දැ” යි මිනිසුන්ගෙන් විචාළේ ය. “දේවයන් වහන්ස, දරුවෙකි.” “එම්බා, ජීවත් වෙයි ද?” “දේවයන් වහන්ස, ජීවත් වෙයි.” “එම්බා, එසේ නම් ඒ දරුවා අපගේ අන්තඃපුරයට ගෙන ගොස් පෝෂණය කිරීමට කිරිමව්වරුන්ට දෙවු.” “දේවයන් වහන්ස, එසේ ය” යි ඒ මිනිස්සු අභය රාජකුමාරයාට පිළිතුරු දී ඒ දරුවා අභය රාජකුමාරයාගේ අන්තඃපුරයට ගෙන ගොස් “(මේ දරුවා) පෝෂණය කරවු” යි කිරිමව්වරුන්ට දුන්හ. ජීවත් වෙයි යන අරුතෙන් ඒ දරුවාට “ජීවක” යි නම් තැබූහ. කුමරුන් විසින් පෝෂණය කරවන ලද්දේ ය යන අරුතෙන් “කෝමාරභච්ච” යි නම් තැබූහ.
7. ඉක්බිති ජීවක කෝමාරභච්ච නොබෝ කලකින් ම නුවණ මෝරන වයසට පැමිණියේ ය. එකල්හි ජීවක කෝමාරභච්ච අභය රාජකුමාරයා වෙත ගියේ ය. ගොස් “දේවයන් වහන්ස, මාගේ මව කවුද? පියා කවුදැ” යි අභය රාජකුමාරයාගෙන් ඇසුවේ ය. “සගය ජීවක, ඔබගේ මව කවුදැයි මම ද නොදනිමි. එහෙත් මම ඔබගේ පියා වෙමි. ඔබ මා විසින් පෝෂණය කරවන ලද්දෙහි ය.” එකල්හි ජීවක කෝමාරභච්චයාට මෙසේ සිතුණේ ය: “ශිල්පයක් නොදන්නකුට (ශිල්පයක් නොඉගෙන) මේ රජ පවුල් ඇසුරු කොට ජීවත් වීම පහසු නොවේ. මම ශිල්පයක් ඉගෙන ගන්නේ නම් යහපති.”