9.
චම්පෙය්‍යක්ඛන්ධකය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණු (ගග්ගරා නම් කාන්තාවක් විසින් කරවූ පොකුණු) ඉවුරෙහි වැඩ වසන සේක. එකල්හි කසී ජනපදයෙහි වාසභගාම නම් ගමක් විය. එහි කස්සපගොත්ත නම් ආවාසික (ඒ ආවාසයෙහි නිතර වසන) භික්ෂුවක් විය. ඔහු ඒ ආවාසයෙහි කළ යුතු කටයුතුවලට නිතර බැඳී සිටියේ, “කෙසේ නම් තවම නොපැමිණි යහපත් සිල් ඇති භික්ෂූන් මෙහි පැමිණෙත් ද, පැමිණි යහපත් සිල් ඇති භික්ෂූන් සැපසේ වාසය කරත් ද, මේ ආවාසය ද වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණේ දැ” යි උත්සාහයෙන් සිටියේ ය.
2. එකල්හි බොහෝ භික්ෂූන් කසී ජනපදයෙහි චාරිකාවේ යමින් වාසභගාමයට පැමිණියහ. කස්සපගොත්ත භික්ෂුව එන ඒ භික්ෂූන් දුර දී ම දුටුවේ ය. දැක අසුන් පැනවී ය. පා සෝදන දිය, පා පුටුව, පා තබන පුවරුව ළඟින් තැබී ය. ඉදිරියට ගොස් පාත්‍රය හා සිවුරු පිළිගත්තේ ය. පැන් අවශ්‍ය දැයි විචාළේ ය. නෑමට උනන්දු වී කටයුතු කළේ ය. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කළේ ය.
3. එකල්හි ඒ ආගන්තුක (අලුතින් පැමිණි) භික්ෂූන්ට “ඇවැත්නි, මේ ආවාසික භික්ෂුව යහපත් කෙනෙකි. නෑමට උනන්දු වී කටයුතු කරයි. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කරයි. ඇවැත්නි, එබැවින් අපි මේ වාසභගාමයෙහි ම වාසය කරමු” යි සිතක් පහළ විය. ඉක්බිති ඒ ආගන්තුක භික්ෂූන් එහි ම, වාසභගාමයෙහි ම වාසය කළහ.
4. එකල්හි කස්සපගොත්ත භික්ෂුවට “මේ ආගන්තුක භික්ෂූන්ට ගමනින් ඇති වූ යම් වෙහෙසක් විය ද, එය දැන් සංසිඳී ඇත. පිඬු සිඟා යන ගම ගැන කිසිවක් නොදැන සිටි මේ භික්ෂූන් දැන් ඒ ගම ගැන දන්නෝ වූහ. අනුන්ගේ නිවෙස්වල දිවි ඇති තෙක් උනන්දු වී කටයුතු කිරීම අපහසු ය. ඉල්ලීම ද මිනිසුන් කැමති නොවන දෙයකි. (එබැවින්) මම කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි උනන්දු නොවන්නේ නම් හොඳ ය” යි අදහසක් විය. ඔහු කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි (ඔවුන් වෙනුවෙන්) උනන්දු නොවී ය.
5. එකල්හි ඒ ආගන්තුක භික්ෂූන්ට “ඇවැත්නි, පෙර මේ ආවාසික භික්ෂුව (අපට) නෑමට උනන්දු වී කටයුතු කළේ ය. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කළේ ය. ඔහු දැන් කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි උනන්දු නොවෙයි. ඇවැත්නි, මේ ආවාසික භික්ෂුව දැන් දුෂ්ට වී ඇත. ඇවැත්නි, එබැවින් අපි මේ ආවාසික භික්ෂුවට සංඝයාගෙන් බැහැර කිරීමේ කර්මය (උක්ඛේපනීය කර්මය) කරමු” යි අදහසක් විය.
6. ඉක්බිති ඒ ආගන්තුක භික්ෂූන් රැස් වී කස්සපගොත්ත භික්ෂුවට මෙසේ කීහ: “ඇවැත්නි, ඔබ පෙර (අපට) නෑමට උනන්දු වී කටයුතු කළෙහි ය. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කළෙහි ය. ඒ ඔබ දැන් කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි උනන්දු නොවෙහි. ඇවැත්නි, ඔබ ඇවැතකට පැමිණියෙහි ය. ඔබ ඒ ඇවැත දකින්නෙහි ද?” ඔහු “ඇවැත්නි, මා දැකිය යුතු එබඳු ඇවැතක් මට නැතැ” යි කීවේ ය.
7. එකල්හි ඒ ආගන්තුක භික්ෂූන් කස්සපගොත්ත භික්ෂුවට ඇවැත නොදැකීම නිසා සංඝයාගෙන් බැහැර කිරීමේ කර්මය කළහ. ඉක්බිති කස්සපගොත්ත භික්ෂුවට මෙසේ අදහසක් විය: “මෙය ඇවැතක් ද, ඇවැතක් නොවේ ද කියා මම නොදනිමි. මා ඇවැතට පැමිණියේ ද, නොපැමිණියේ ද කියා ද නොදනිමි. ධාර්මික හෝ අධාර්මික වූ, වලංගු නොවන හෝ වලංගු වන වූ, සසුනට සුදුසු හෝ නුසුදුසු වූ කර්මයකින් මා බැහැර කරන ලද්දේ ද, බැහැර නොකරන ලද්දේ ද කියා ද මම නොදනිමි. මම චම්පා නුවරට ගොස් මේ කාරණය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරන්නේ නම් හොඳ ය.”
8. ඉක්බිති කස්සපගොත්ත භික්ෂුව සෙනසුන් පිළිවෙළට තබා පාත්‍රය හා සිවුරු ගෙන චම්පා නුවර බලා පිටත් වූයේ ය. පිළිවෙළින් චම්පා නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳගත්තේ ය.
9. ආගන්තුක භික්ෂූන් සමග පිළිසඳර කතා කිරීම භාග්‍යවත් බුදුවරුන්ගේ පුරුද්දකි. එබැවින් භාග්‍යවතුන් වහන්සේ කස්සපගොත්ත භික්ෂුවගෙන් “මහණ, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? වෙහෙසක් නැතිව දිගු මඟ ආවෙහි ද? මහණ, ඔබ කොහි සිට පැමිණියෙහි දැ” යි විචාළ සේක.
10. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකි ය. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකි ය. ස්වාමීනි, මම වැඩි වෙහෙසක් නැතිව දිගු මඟ ආවෙමි. ස්වාමීනි, කසී ජනපදයෙහි වාසභගාම නම් ගමක් ඇත. මම එහි ආවාසිකව වසමි. ඒ ආවාසයෙහි කළ යුතු කටයුතුවලට නිතර බැඳී සිටියෙමි. ‘කෙසේ නම් තවම නොපැමිණි යහපත් සිල් ඇති භික්ෂූන් මෙහි පැමිණෙත් ද, පැමිණි යහපත් සිල් ඇති භික්ෂූන් සැපසේ වාසය කරත් ද, මේ ආවාසය ද වැඩීමට, දියුණුවට, මහත් බවට පැමිණේ දැ’ යි උත්සාහයෙන් සිටියෙමි.
11. “ස්වාමීනි, එකල්හි බොහෝ භික්ෂූන් කසී ජනපදයෙහි චාරිකාවේ යමින් වාසභගාමයට පැමිණියහ. ස්වාමීනි, මම එන ඒ භික්ෂූන් දුර දී ම දුටුවෙමි. දැක අසුන් පැනවීමි. පා සෝදන දිය, පා පුටුව, පා තබන පුවරුව ළඟින් තැබීමි. ඉදිරියට ගොස් පාත්‍රය හා සිවුරු පිළිගතිමි. පැන් අවශ්‍ය දැයි විචාළෙමි. නෑමට උනන්දු වී කටයුතු කළෙමි. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කළෙමි.
12. “ස්වාමීනි, එකල්හි ඒ ආගන්තුක භික්ෂූන්ට ‘ඇවැත්නි, මේ ආවාසික භික්ෂුව යහපත් කෙනෙකි. නෑමට උනන්දු වී කටයුතු කරයි. කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි ද උනන්දු වී කටයුතු කරයි. ඇවැත්නි, එබැවින් අපි මේ වාසභගාමයෙහි ම වාසය කරමු’ යි අදහසක් විය. ස්වාමීනි, ඉන්පසු ඒ ආගන්තුක භික්ෂූන් එහි ම, වාසභගාමයෙහි ම වාසය කළහ.
13. “ස්වාමීනි, ඒ මට ‘මේ ආගන්තුක භික්ෂූන්ට ගමනින් ඇති වූ යම් වෙහෙසක් විය ද, එය දැන් සංසිඳී ඇත. පිඬු සිඟා යන ගම ගැන කිසිවක් නොදැන සිටි මේ භික්ෂූන් දැන් ඒ ගම ගැන දන්නෝ වූහ. අනුන්ගේ නිවෙස්වල දිවි ඇති තෙක් උනන්දු වී කටයුතු කිරීම අපහසු ය. ඉල්ලීම ද මිනිසුන් කැමති නොවන දෙයකි. (එබැවින්) මම කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි උනන්දු නොවන්නේ නම් හොඳ ය’ යි අදහසක් විය. ස්වාමීනි, ඒ මම කැඳ, කැවිලි, බත් ලබා දීමෙහි උනන්දු නොවීමි.”