7.
කඨිනක්ඛන්‍ධකය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි පිහිටි අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක.
2. එකල්හි පාවා නුවර වැසි භික්ෂූන් තිහක් පමණ, භාග්‍යවතුන් වහන්සේ දකින්නට සැවැත් නුවරට යමින් සිටියහ. ඔවුන් සියලු දෙනාම ආරණ්‍යක (වනයේ වසන) භික්ෂූන් වූහ. සියලු දෙනාම පිණ්ඩපාතික (පිඬුසිඟා වැඩීමෙන් පමණක් යැපෙන) භික්ෂූන් වූහ. සියලු දෙනාම පංසුකූලික (අහක දැමූ රෙදිවලින් කළ සිවුරු දරන) භික්ෂූන් වූහ. සියලු දෙනාම තෙචීවරික (තුන් සිවුර පමණක් දරන) භික්ෂූන් වූහ. වස් එළඹීමේ දිනය ළං වූ බැවින් ඔවුන්ට සැවැත්නුවර වස් එළඹීමට යන්නට නොහැකි විය. ඔවුහු අතරමග සාකේත නුවර වස් එළඹියහ.
3. ඔවුහු “භාග්‍යවතුන් වහන්සේ අපට ළඟින්ම, මෙතැන් සිට යොදුන් හයක් දුරින් වැඩ වසන සේක. එහෙත් අපට භාග්‍යවතුන් වහන්සේ දකින්නට නොලැබේ” යි කලකිරුණු සිතින්ම වස් විසූහ.
4. ඉක්බිති වස් වැස නිම කළ ඒ භික්ෂූහු තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ පසු, වැසි වසිද්දී, ජලයෙන් වළ ගොඩ එක සේ පිරී ගිය කල්හි, ගොහොරු මඩ ඇති කල්හි, දියෙන් පිරුණු (තෙමුණු) සිවුරුවලින් යුතුව, වෙහෙසට පත් වූ ස්වරූපයෙන්, සැවැත්නුවර ජේතවනයෙහි පිහිටි අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වෙතට ගියහ. ගොස් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එක් පැත්තක හිඳගත්හ.
5. භාග්‍යවත් බුදුවරුන්ට ආගන්තුක භික්ෂූන් සමඟ සතුටු සාමීචි කථා කිරීම පුරුද්දකි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගෙන් “මහණෙනි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද? කිම, සමගි වූවාහු, සතුටු වූවාහු, විවාද නොකරමින් පහසුවෙන් වස් විසුවාහු ද? ආහාරයෙන් වෙහෙසට පත් නොවූවාහු ද?” යි අසා වදාළ සේක.
6. “භාග්‍යවතුන් වහන්ස, ඉවසිය හැකියි. භාග්‍යවතුන් වහන්ස, යැපිය හැකියි. ස්වාමීනි, අපි සමගි ව, සතුටු ව, විවාද නොකරමින් වස් විසුවෙමු. ආහාරයෙන් ද වෙහෙසට පත් නොවුණෙමු. ස්වාමීනි, පාවා නුවර වැසි භික්ෂූන් තිහක් පමණ වූ අපි භාග්‍යවතුන් වහන්සේ දකින්නට සැවැත්නුවරට එමින් සිටියදී, වස් එළඹීමේ දිනය ළං වූ බැවින් සැවැත්නුවර වස් එළඹීමට පැමිණෙන්නට නොහැකි වුණෙමු. අතරමග සාකේත නුවර වස් එළඹියෙමු. ස්වාමීනි, ඒ අපි ‘භාග්‍යවතුන් වහන්සේ අපට ළඟින්ම, මෙතැන් සිට යොදුන් හයක් දුරින් වැඩ වසන සේක. එහෙත් අපට භාග්‍යවතුන් වහන්සේ දකින්නට නොලැබේ’ යි කලකිරුණු සිතින්ම වස් විසුවෙමු. ස්වාමීනි, ඉක්බිති වස් වැස නිම කළ අපි තෙමසක් ඇවෑමෙන් පවාරණය කළ පසු, වැසි වසිද්දී, ජලයෙන් වළ ගොඩ එක සේ පිරී ගිය කල්හි, ගොහොරු මඩ ඇති කල්හි, දියෙන් පිරුණු සිවුරුවලින් යුතුව, වෙහෙසට පත් වූ ස්වරූපයෙන් දිගු ගමනක් පැමිණියෙමු.”
7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ සිද්ධියෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ට කඨිනය ඇතිරීමට අනුමත කරමි. මහණෙනි, කඨිනය ඇතිරූ භික්ෂූන් වන ඔබට මේ පස කැප වන්නේය: අනාමන්තචාරය (අනෙක් භික්ෂුවකට නොදන්වා ගමට යාම), අසමාදානචාරය (තුන් සිවුර රැගෙන නොයා හැසිරීම), ගණභෝජනය (සමූහ භෝජනය), කැමති පමණ සිවුරු පිළිගැනීම, කඨිනය ඇතිරූ විහාරයෙහි යම් සිවුරු ලැබීමක් වේ නම් එය ද ඔවුන්ට අයත් වීම යන මේ පසයි. මහණෙනි, කඨිනය ඇතිරූ භික්ෂූන් වන ඔබට මේ පස කැප වන්නේය.”
8. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරිය යුතුය. දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට දැනුම් දිය යුතුය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. සංඝයාට මේ කඨින වස්ත්‍රය ලැබී තිබේ. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති භික්ෂුවට කඨිනය ඇතිරීම සඳහා දෙන්නේය. මේ ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. සංඝයාට මේ කඨින වස්ත්‍රය ලැබී තිබේ. සංඝයා මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති භික්ෂුවට කඨිනය ඇතිරීම සඳහා දෙයි. මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති භික්ෂුවට කඨිනය ඇතිරීම සඳහා දීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය. යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය.
“සංඝයා විසින් මේ කඨින වස්ත්‍රය මෙනම් ඇති භික්ෂුවට කඨිනය ඇතිරීම සඳහා දෙන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.”
9. මහණෙනි, කඨිනය මෙසේ ඇතිරුණේ වේ, මෙසේ ඇතිරුණේ නොවේ. මහණෙනි, කඨිනය ඇතිරුණේ නොවන්නේ කෙසේද? ලකුණු කළ (සිවුරේ දිග පළල මැන ගත්) පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. වස්ත්‍රය සේදූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. කඩ ගණන තීරණය කළ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. කඩ කැපූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. හිස් (බොරු) නූල් ඇදූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. දික් මැහුම් මැසූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. අතු බැඳුම් (මූට්ටු කිරීම්) පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. දෙපට එකට මැසූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. පිට පැත්තේ නුවා (දාර පටිය) ඇල්ලූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. ඇතුළු පැත්තේ නුවා ඇල්ලූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. අමුතු රෙදි පටියක් ඇල්ලූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. එක් වරක් පඬු පෙවූ පමණින් කඨිනය ඇතිරුණේ නොවේ. ‘මේ වස්ත්‍රයෙන් කඨිනය අතුරන්නෙමි’ යි ඉඟි කොට ලැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. කඨිනයේ ආනිසංස කියා ලැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. (එදිනම නොමසා) තැන්පත් කොට තැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. (රාත්‍රිය ඉක්මයාමෙන්) නිසඟි (අත්හළ යුතු) වූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. කප්බිඳු (සිවුරේ තබන කැප ලකුණ) නොතැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරුණේ නොවේ. සඟළ සිවුර හැර, උතුරුසඟ සිවුර හැර, අඳනය හැර (අනෙක් වස්ත්‍රයකින්) කඨිනය ඇතිරුණේ නොවේ. එදිනම කපන ලද, මැඩිලි (සිවුරේ විශාල හා කුඩා කොටු) සහිතව මසන ලද, කඩ පහක් හෝ ඊට වැඩි ගණනක් හෝ ඇති සිවුරක් හැර අනෙකකින් කඨිනය ඇතිරුණේ නොවේ. පුද්ගලයෙකු විසින් ඇතිරීම හැර (සංඝයා හෝ කණ්ඩායමක් විසින් ඇතිරීමෙන්) කඨිනය ඇතිරුණේ නොවේ. කඨිනය මනාකොටම ඇතිරුවත්, වස් විසූ විහාර සීමාවෙන් පිටත සිටින කෙනෙක් එය අනුමෝදන් වුවහොත්, මෙසේ ද කඨිනය ඇතිරුණේ නොවේ. මහණෙනි, කඨිනය ඇතිරුණේ නොවන්නේ මෙසේය.
(ආකාර විසිහතරකි.)