6.
භේසජ්ජ ඛන්ධකය (බෙහෙත් පිළිබඳ කොටස)
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනයේ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ වැඩ වාසය කළ සේක. එකල්හි සරත් කාලයේ (වැස්සත් සැර අව්වත් මාරුවෙන් එන කාලයේ) හටගත් පිත් රෝගයෙන් පීඩා විඳි භික්ෂූන්ට බොන කැඳ ද (නොදිරීම නිසා) උඩට එයි. වළඳන බත ද (නොදිරීම නිසා) උඩට එයි. ඒ නිසා ඒ භික්ෂූන් කෙට්ටු වූ, රළු සිරුරු ඇති, පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇති අය වෙති. භාග්‍යවතුන් වහන්සේ කෙට්ටු වූ, රළු සිරුරු ඇති, පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇති ඒ භික්ෂූන් දුටු සේක. දැක, “ආනන්දය, දැන් භික්ෂූන් කුමක් නිසා කෙට්ටු වූ, රළු සිරුරු ඇති, පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇති අය වූවාහු ද?” යි ආනන්ද තෙරුන් ඇමතූ සේක.
2. “ස්වාමීනි, දැන් සරත් කාලයේ හටගත් රෝගයෙන් පීඩා විඳින භික්ෂූන්ට බොන කැඳ ද උඩට එයි. වළඳන බත ද උඩට එයි. ඒ නිසා ඒ භික්ෂූන් කෙට්ටු වී සිටිති. රළු සිරුරු ඇත්තෝ වෙති. පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ අය වෙති. නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති.”
3. ඉක්බිති හුදෙකලාව විවේකයෙන් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි මෙබඳු අදහසක් පහළ විය: “දැන් සරත් කාලයේ හටගත් රෝගයෙන් පීඩා විඳින භික්ෂූන්ට බොන කැඳ ද උඩට එයි. වළඳන බත ද උඩට එයි. ඒ නිසා ඒ භික්ෂූන් කෙට්ටු වී සිටිති. රළු වී සිටිති. පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ අය වෙති. නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති. එබැවින් යමක් බෙහෙතක් ද වේ නම්, ලෝකයා බෙහෙතක් යැයි පිළිගන්නා දෙයක් ද වේ නම්, ආහාරයෙන් වන කාර්යය ද ඉටු කරයි නම්, තද ආහාරයක් ලෙස ද නොපෙනෙයි නම්, එබඳු බෙහෙතක් මම භික්ෂූන්ට අනුමත කළොත් කෙසේ ද?”
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිතුවිල්ල ඇති විය: “මේ බෙහෙත් පහක් ඇත. එනම්: ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, උක් සකුරු යන මේවා ය. මේවා බෙහෙත් ද වෙති. ලෝකයා බෙහෙත් යැයි ද පිළිගනිති. ආහාරයෙන් වන කාර්යය ද ඉටු කරති. තද ආහාරයක් ලෙස නොපෙනෙති. මම භික්ෂූන්ට මේ බෙහෙත් පහ සුදුසු කාලයේ පිළිගෙන සුදුසු කාලයේ වළඳන්නට අනුමත කරන්නේ නම් යහපති.”
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයේ විවේකයෙන් නැගී සිට, මේ කාරණය මුල් කොට, මේ කරුණෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මෙහි හුදෙකලාව විවේකයෙන් සිටි මාගේ සිතෙහි මෙබඳු අදහසක් ඇති විය: ‘දැන් සරත් කාලයේ හටගත් රෝගයෙන් පීඩා විඳින භික්ෂූන්ට බොන කැඳ ද උඩට එයි. වළඳන බත ද උඩට එයි. ඒ නිසා ඒ භික්ෂූන් කෙට්ටු වී සිටිති. රළු වී සිටිති. පැහැය නැති වූවෝ වෙති. ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති. (එබැවින්) යමක් බෙහෙතක් ද වේ නම්, ලෝකයා බෙහෙතක් යැයි පිළිගන්නා දෙයක් ද වේ නම්, ආහාරයෙන් වන කාර්යය ද ඉටු කරයි නම්, තද ආහාරයක් ලෙස ද නොපෙනෙයි නම්, (එබඳු) බෙහෙතක් මම භික්ෂූන්ට අනුමත කළොත් කෙසේ ද?’
6. “මහණෙනි, ඒ මට මේ සිතුවිල්ල ඇති විය: ‘මේ බෙහෙත් පහක් ඇත. එනම්: ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, උක් සකුරු යන මේවා ය. මේවා බෙහෙත් ද වෙති. ලෝකයා බෙහෙත් යැයි ද පිළිගනිති. ආහාරයෙන් වන කාර්යය ද ඉටු කරති. තද ආහාරයක් ලෙස නොපෙනෙති. මම භික්ෂූන්ට මේ බෙහෙත් පහ සුදුසු කාලයේ පිළිගෙන සුදුසු කාලයේ වළඳන්නට අනුමත කරන්නේ නම් යහපති.’ මහණෙනි, ඒ බෙහෙත් පහ සුදුසු කාලයේ පිළිගෙන සුදුසු කාලයේ වළඳන්නට අනුමත කරමි.”
7. එකල්හි භික්ෂූන් ඒ බෙහෙත් පහ සුදුසු කාලයේ පිළිගෙන සුදුසු කාලයේ වළඳති. ඒ භික්ෂූන්ට සාමාන්‍යයෙන් ලැබෙන රළු ආහාර පවා රුචි නොවෙයි. සිනිඳු ආහාර රුචි නොවන බව කවර කතා ද? ඒ භික්ෂූන් සරත් කාලයේ හටගත් ඒ රෝගයෙනුත්, මේ ආහාර අරුචියෙනුත් යන ඒ දෙකෙන්ම පීඩා විඳිමින්, වඩාත් කෙට්ටු වී සිටිති. රළු වී සිටිති. පැහැය නැති වී සිටිති. ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති.
8. භාග්‍යවතුන් වහන්සේ වඩාත් කෙට්ටු වූ, රළු වූ, පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ, නහර මතු වී පෙනෙන සිරුරු ඇති ඒ භික්ෂූන් දුටු සේක. දැක, “ආනන්දය, දැන් භික්ෂූන් කුමක් නිසා වඩාත් කෙට්ටු වූවාහු ද? රළු වූවාහු ද? පැහැය නැති වූවාහු ද? ඉතා පඬු පැහැ වූවාහු ද? නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තාහු ද?” යි ආනන්ද තෙරුන් ඇමතූ සේක.
9. “ස්වාමීනි, දැන් භික්ෂූන් ඒ බෙහෙත් පහ සුදුසු කාලයේ පිළිගෙන සුදුසු කාලයේ වළඳති. ඔවුන්ට සාමාන්‍යයෙන් ලැබෙන රළු ආහාර පවා රුචි නොවෙයි. සිනිඳු ආහාර ගැන කවර කතා ද? ඒ භික්ෂූන් සරත් කාලයේ හටගත් ඒ රෝගයෙනුත්, මේ ආහාර අරුචියෙනුත් යන ඒ දෙකෙන්ම පීඩා විඳිමින්, වඩාත් කෙට්ටු වී සිටිති. රළු වී සිටිති. පැහැය නැති වූ, ඉතා පඬු පැහැ වූ අය වෙති. නහර මතු වී පෙනෙන සිරුරු ඇත්තෝ වෙති.”