5.
චම්මක්ඛන්ධකය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර අසල ගිජුකුළු පර්වතයෙහි වැඩ වසන සේක. ඒ කාලයේ මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමා ගම් අසූ දහසක් කෙරෙහි ඉසුරු බලයෙන් හා අධිපති බවින් යුත් රාජ්‍යය කරවයි. ඒ කාලයේ චම්පා නුවර කොළිවීස ගෝත්‍රයේ උපන් සෝණ නම් සිටු පුත්‍රයා ඉතා සියුමැලි කෙනෙක් විය. ඔහුගේ යටිපතුල්වල (අඳුන් පැහැති) ලොම් හටගෙන තිබිණ. එකල මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමා කිසියම් කටයුත්තක් සඳහා මෙන් ඒ ගම් අසූ දහසේ ප්‍රධානීන් රැස් කරවා, කොළිවීස ගෝත්‍රයේ උපන් සෝණ සිටු පුත්‍රයා වෙත “සෝණ පැමිණේවා. සෝණගේ පැමිණීමට මම කැමැත්තෙමි” යි දූතයකු යැවී ය.
2. එවිට කොළිවීස සෝණගේ මවුපියෝ කොළිවීස සෝණට මෙසේ කීහ: “පුත් සෝණ, රජතුමා ඔබගේ පාද දකින්නට කැමැත්තේ ය. පුත් සෝණ, ඔබ රජතුමා සිටින දිශාවට පාද දිගු නොකරන්න. රජතුමා ඉදිරියේ පළඟ බැඳගෙන හිඳින්න. ඔබ එසේ හිඳගෙන සිටින විට රජතුමා ඔබගේ පාද දකිනු ඇත” යි.
3. ඉක්බිති කොළිවීස සෝණව සිවිගෙයකින් (දෝලාවකින්) ගෙන ආහ. කොළිවීස සෝණ මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමා වෙත ගියේ ය. ගොස් මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමාට වැඳ, රජතුමා ඉදිරියේ පළඟ බැඳගෙන හුන්නේ ය. මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමා කොළිවීස සෝණගේ යටිපතුල්වල හටගත් ලොම් දුටුවේ ය.
4. ඉක්බිති මගධ රජු වූ සේනිය බිම්බිසාර රජතුමා ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන්ට මේ ජීවිතයට යහපත් වූ කරුණු ගැන අනුශාසනා කොට, “දරුවෙනි, මා විසින් ඔබට මේ ජීවිතයට යහපත් වූ කරුණු ගැන අනුශාසනා කරන ලදී. යන්න. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්න. අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඔබට පරලොවට යහපත් වූ කරුණු ගැන අනුශාසනා කරන සේක” යි පිටත් කළේ ය. එවිට ඒ අසූ දහසක් ගම් ප්‍රධානීහු ගිජුකුළු පර්වතයට ගියහ.
5. ඒ කාලයේ ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වූහ. එහෙයින් ඒ අසූ දහසක් ගම් ප්‍රධානීහු ආයුෂ්මත් සාගත තෙරුන් වෙත ගියහ. ගොස් ආයුෂ්මත් සාගත තෙරුන්ට “ස්වාමීනි, මේ අසූ දහසක් ගම් ප්‍රධානීහු භාග්‍යවතුන් වහන්සේ දකින්නට මෙහි පැමිණ සිටිති. ස්වාමීනි, අපට භාග්‍යවතුන් වහන්සේ දකින්නට ලැබේ නම් මැනවි” යි කියා සිටියහ. “එසේ නම් ආයුෂ්මත්නි, මා භාග්‍යවතුන් වහන්සේට මේ බව දන්වන තුරු ඔබ මොහොතක් මෙහි ම සිටින්න.”
6. ඉක්බිති ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ බලා සිටිය දී සඳකඩපහණෙහි ගිලී, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ මතු වී, භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, මේ අසූ දහසක් ගම් ප්‍රධානීහු භාග්‍යවතුන් වහන්සේ දකින්නට මෙහි පැමිණ සිටිති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් ඊට සුදුසු කාලය දන්නා සේක්වා” යි සැල කළහ.
7. “සාගත, එසේ නම් ඔබ විහාරය පිටුපස සෙවණෙහි අසුනක් පනවන්න” යි වදාළ සේක. “එසේ ය, ස්වාමීනි” යි ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී, පුටුවක් ගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ගිලී, ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන් ඉදිරියේ බලා සිටිය දී සඳකඩපහණෙන් මතු වී, විහාරය පිටුපස සෙවණෙහි අසුනක් පැනවූහ.
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම, විහාරය පිටුපස සෙවණෙහි පැනවූ අසුනෙහි වැඩ හුන් සේක. ඉන් පසු ඒ අසූ දහසක් ගම් ප්‍රධානීහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ.
9. එකල ඒ අසූ දහසක් ගම් ප්‍රධානීහු (පැහැදීමෙන්) ආයුෂ්මත් සාගත තෙරුන් ගැන ම නැවත නැවත සිතති. භාග්‍යවතුන් වහන්සේ ගැන එසේ නොසිතති. එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන්ගේ සිතේ අදහස තම සිතින් දැන ආයුෂ්මත් සාගත තෙරුන් ඇමතූ සේක: “සාගත, එසේ නම් ඔබ ඊටත් වඩා විශේෂ ලෙස උතුරු මිනිස් දම් (සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ ගුණ) වූ ඍද්ධි ප්රාතිහාර්ය පෙන්වන්න” යි. “එසේ ය, ස්වාමීනි” යි ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී අහසට නැගී, අහසෙහි සක්මන් ද කරයි, සිටී ද, හිඳී ද, සයනය ද කරයි, දුම් දමයි ද, දිලිසෙයි ද, නොපෙනී යයි ද.
10. ඉන් පසු ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේ අහසෙහි නොයෙක් ආකාර වූ උතුරු මිනිස් දම් වූ ඍද්ධි ප්රාතිහාර්ය පෙන්වා, භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිස තබා වැඳ වැටී, භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ ය. මම ශ්රාවකයා වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ ය. මම ශ්රාවකයා වෙමි” යි සැල කළහ.
11. ඉක්බිති ඒ අසූ දහසක් ගම් ප්‍රධානීහු “පින්වත්නි, පුදුමයකි! පින්වත්නි, මෙතෙක් නොවූ විරූ දෙයකි! ශ්රාවකයා මෙතරම් මහත් ඍද්ධි ඇති, මෙතරම් මහත් ආනුභාව ඇති කෙනෙක් වේ නම්, ශාස්තෘන් වහන්සේ කෙතරම් නම් ආශ්චර්යවත් විය යුතු ද!” යි භාග්‍යවතුන් වහන්සේ ගැන ම සිතති. ආයුෂ්මත් සාගත තෙරුන් ගැන එසේ නොසිතති.
12. එකල භාග්‍යවතුන් වහන්සේ ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන්ගේ සිතේ අදහස තම සිතින් දැන අනුපිළිවෙළ කථාව වදාළ සේක. එනම් දාන කථාව, සීල කථාව, ස්වර්ග කථාව, කාමයන්ගේ දුක් ගෙන දෙන බව, ලාමක බව, කෙලෙසීම සහ පැවිද්දෙහි අනුසස් වදාළ සේක.
13. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සුදුසු සිත් ඇති, මොළොක් සිත් ඇති, නොවැසුණු සිත් ඇති, නොහැකිළුණු සිත් ඇති, පැහැදුණු සිත් ඇති අය බව යම් කලෙක දැනගත් සේක් ද, එකල්හි බුදුවරයන් වහන්සේලා තමන් විසින් ම සොයාගත් උසස් ධර්ම දේශනාව වූ දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය යන චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කළ සේක. කිලුටු ඉවත් වූ පිරිසිදු රෙද්දක් සායම මනාව උරා ගන්නේ යම් සේ ද, එසේ ම ඒ අසූ දහසක් ගම් ප්‍රධානීන්ට ඒ ආසනයේ දී ම “යමක් හට ගැනීමේ ස්වභාවය ඇත්තේ ද, ඒ සියල්ල නිරුද්ධ වීමේ (නැති වී යාමේ) ස්වභාවය ඇත්තේ ය” යි රාගය ආදී දූවිලි පහ වූ, කෙලෙස් මල පහ වූ සෝතාපත්ති මාර්ග ඤාණය (දහම් ඇස) පහළ විය.