පටිඤ්ඤාතකරණය
57. ආපත්ති අධිකරණය (ඇවැත් පිළිබඳ ප්‍රශ්නය) සමථ කීයකින් සංසිඳෙයි ද? ආපත්ති අධිකරණය සම්මුඛාවිනයෙනුත්, පටිඤ්ඤාතකරණයෙනුත් (තමා කළ ඇවැත පිළිගැනීමෙන් සංසිඳවීම), තිණවත්ථාරකයෙනුත් (තණකොළවලින් වසා දමන්නාක් මෙන් සංසිඳුවීම) යන සමථ තුනෙන් සංසිඳේ.
ආපත්ති අධිකරණය තිණවත්ථාරකය නම් වූ එක් සමථයකට නොපැමිණ, සම්මුඛාවිනයෙනුත් පටිඤ්ඤාතකරණයෙනුත් යන සමථ දෙකෙන් සංසිඳෙන්නේ යැ යි කීම විය හැකි ද? විය හැකි යැ යි කිව යුතු ය. කෙසේ ද යත්: මෙහි භික්ෂුවක් සැහැල්ලු ඇවැතකට පැමිණියේ වෙයි. මහණෙනි, ඒ භික්ෂුව එක් භික්ෂුවක් වෙත ගොස්, උතුරු සළුව එක් උරයකට කොට, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, දොහොත් මුදුනේ තබාගෙන, “ඇවැත්නි, මම මෙනම් ඇවැතකට පැමිණියෙමි, එය දේශනා කරමි” යි මෙසේ කිව යුතු ය. ඔහු (අනෙක් භික්ෂුව) “ඇවැත දකින්නෙහි ද?” යි කිව යුතු ය. පළමු භික්ෂුව “එසේ ය, දකිමි” යි කිව යුතු ය. දෙවන භික්ෂුව “ඉදිරියට සංවර වන්න” යි කිව යුතු ය.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සංසිඳුණේ යැ යි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද යත්: සම්මුඛාවිනයෙනුත් පටිඤ්ඤාතකරණයෙනුත් යන දෙකෙනි. එහි සම්මුඛාවිනයෙහි ඇත්තේ කුමක් ද යත්: ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන ය -පෙ- එහි පුද්ගලසම්මුඛතාව කුමක් ද? ඇවැත දේශනා කරන භික්ෂුවත්, යමෙකුට ඇවැත දේශනා කරයි ද ඒ භික්ෂුවත් යන දෙදෙනා එකිනෙකා ඉදිරියේ සිටිති ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යි. එහි පටිඤ්ඤාතකරණයෙහි ඇත්තේ කුමක් ද? පටිඤ්ඤාතකරණ කර්මයේ යම් ක්‍රියාවක්, කිරීමක්, එළඹීමක්, එයට එකඟව එළඹීමක්, ඉවසීමක්, විරුද්ධ නොවීමක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය ඇවැත පිළිගත් භික්ෂුව උක්කෝටනය කරයි නම් (නැවත මතු කරයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
58. මහණෙනි, මෙසේ ඒ අධිකරණය සංසිඳීමක් ලබන්නේ නම්, එය යහපති. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ භික්ෂුව බොහෝ භික්ෂූන් වෙත ගොස්, උතුරු සළුව එක් උරයකට කොට, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, දොහොත් මුදුනේ තබාගෙන, “ස්වාමීනි, මම මෙනම් ඇවැතට පැමිණියෙමි. එය දේශනා කරමි” යි මෙසේ කිව යුතු ය. දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් “ආයුෂ්මතුන් මාගේ වචනය අසත්වා. මේ මෙනම් භික්ෂුව ඇවැත සිහි කරයි, ඇවැත හෙළි කරයි, ඇවැත පැහැදිලි කරයි, ඇවැත දේශනා කරයි. ආයුෂ්මතුන්ට සුදුසු කාලය නම්, මම මෙනම් භික්ෂුවගේ ඇවැත පිළිගන්නෙමි” යි ඒ භික්ෂූන්ට දැනුම් දිය යුතු ය.
ඇවැත පිළිගන්නා භික්ෂුව අනෙක් භික්ෂුවට “ඇවැත දකින්නෙහි ද?” යි කිව යුතු ය. ඇවැත දේශනා කරන භික්ෂුව “එසේ ය, දකිමි” යි කිව යුතු ය. ඇවැත පිළිගන්නා භික්ෂුව “ඉදිරියට සංවර වන්න” යි කිව යුතු ය.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සංසිඳුණේ යැ යි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද යත්: සම්මුඛාවිනයෙනුත් පටිඤ්ඤාතකරණයෙනුත් යන දෙකෙනි. එහි සම්මුඛාවිනයෙහි ඇත්තේ කුමක් ද යත්: ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන තුන ය -පෙ- එහි පුද්ගලසම්මුඛතාව කුමක් ද? යමෙක් ඇවැත දේශනා කරයි ද, යමෙකුට ඇවැත දේශනා කරයි ද, දේශනා කරන්නා සහ පිළිගන්නා යන මේ දෙදෙනා එකිනෙකා ඉදිරියේ සිටිති ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යි. එහි පටිඤ්ඤාතකරණයෙහි ඇත්තේ කුමක් ද? පටිඤ්ඤාතකරණ කර්මයේ යම් ක්‍රියාවක්, කිරීමක්, එළඹීමක්, එයට එකඟව එළඹීමක්, ඉවසීමක්, විරුද්ධ නොවීමක් වේ ද, මේ එහි පටිඤ්ඤාතකරණය යි. මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය ඇවැත පිළිගත් භික්ෂුව උක්කෝටනය කරයි නම් (නැවත මතු කරයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ.
59. මෙසේ එය ලබන්නේ නම්, එය යහපති. ඉදින් නොලබන්නේ නම්, මහණෙනි, ඒ භික්ෂුව සංඝයා වෙත ගොස්, උතුරු සළුව එක් උරයකට කොට, වැඩිමහලු භික්ෂූන්ගේ පා වැඳ, උක්කුටිකව හිඳ, දොහොත් මුදුනේ තබාගෙන, “ස්වාමීනි, මම මෙනම් ඇවැතට පැමිණියෙමි. එය දේශනා කරමි” යි මෙසේ කිව යුතු ය. දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් “ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් භික්ෂුව ඇවැත සිහි කරයි, හෙළි කරයි, පැහැදිලි කරයි, දේශනා කරයි. සංඝයාට සුදුසු කාලය නම්, මම මෙනම් භික්ෂුවගේ ඇවැත පිළිගන්නෙමි” යි සංඝයාට දැනුම් දිය යුතු ය. ඇවැත පිළිගන්නා භික්ෂුව “ඇවැත දකින්නෙහි ද?” යි කිව යුතු ය. ඇවැත දේශනා කරන්නා “එසේ ය, දකිමි” යි කිව යුතු ය. ඇවැත පිළිගන්නා “ඉදිරියට සංවර වන්න” යි කිව යුතු ය.
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සංසිඳුණේ යැ යි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද යත්: සම්මුඛාවිනයෙනුත් පටිඤ්ඤාතකරණයෙනුත් යන දෙකෙනි. එහි සම්මුඛාවිනයෙහි ඇත්තේ කුමක් ද යත්: සංඝසම්මුඛතාව, ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන හතර ය -පෙ- මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය ඇවැත පිළිගත් භික්ෂුව උක්කෝටනය කරයි නම් (නැවත මතු කරයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්දය දුන් භික්ෂුවක් (මේ අධිකරණය සංසිඳුවීමට) දොස් නඟයි නම්, ඔහුට ඛීයනක පාචිත්තිය ඇවැත වේ.