තිණවත්ථාරකය
60. පටිඤ්ඤාතකරණය (ඇවැත පිළිගැනීමෙන් සංසිඳවීම) නම් වූ එක් සමථයකට නොපැමිණ, සම්මුඛාවිනයෙනුත් තිණවත්ථාරකයෙනුත් යන සමථ (අධිකරණ සංසිඳවන ක්රම) දෙකෙන් ආපත්තාධිකරණය (ඇවැත් පිළිබඳ අධිකරණය) සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිව යුතු ය. කෙසේ ද යත්: මෙහි අරගල ඇති වී, කලහ ඇති වී, විවාදයට පැමිණ වසන භික්ෂූන් විසින් වචනයෙන් ද කයින් ද ශ්රමණයන්ට නුසුදුසු බොහෝ වැරදි කරන ලද්දේ වෙයි. එහි භික්ෂූන්ට මෙසේ සිතක් ඇති වෙයි: ‘අරගල ඇති වී, කලහ ඇති වී, විවාදයට පැමිණ වසන අප විසින් වචනයෙන් ද කයින් ද ශ්රමණයන්ට නුසුදුසු බොහෝ වැරදි කරන ලද්දේ වෙයි. ඉදින් අපි මේ ඇවැත්වලින් එකිනෙකාට පිළියම් කරවන්නෙමු නම්, ඒ අධිකරණය රළු බවට, සැඩ බවට, භේදයට හේතු විය හැකි ය.’ මහණෙනි, මෙබඳු අධිකරණයක් තිණවත්ථාරකයෙන් (තණකොළවලින් වසා දමන්නාක් මෙන් ඇවැත් සංසිඳුවන ක්රමයෙන්) සංසිඳුවන්නට අනුමත කරමි.
තවද මහණෙනි, එය මෙසේ සංසිඳුවිය යුතු ය: සියලු භික්ෂූන් ම එක් තැනකට රැස් විය යුතු ය. රැස් වී, දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය: “ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසාවා. අරගල ඇති වී, කලහ ඇති වී, විවාදයට පැමිණ වසන අප විසින් වචනයෙන් ද කයින් ද ශ්රමණයන්ට නුසුදුසු බොහෝ දේ කරන ලදී. ඉදින් අපි මේ ඇවැත්වලින් එකිනෙකාට පිළියම් කරවන්නෙමු නම්, ඒ අධිකරණය රළු බවට, සැඩ බවට, භේදයට හේතු වන්නට ද පුළුවන. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා (පාරාජිකා, සංඝාදිසේස යන) බරපතළ වැරදි හැර, ගිහියන්ට ගැරහීම් ආදී ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර, (සෙසු ඇවැත් හා සම්බන්ධ වූ) මේ අධිකරණය තිණවත්ථාරකයෙන් සංසිඳුවන්නේ ය.”
එක් පක්ෂයකට අයත් භික්ෂූන් අතුරෙන් දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් තම පක්ෂයට මෙසේ දැනුම් දිය යුතු ය: “ආයුෂ්මතුනි, මාගේ වචනය අසත්වා. අරගල ඇති වී, කලහ ඇති වී, විවාදයට පැමිණ වසන අප විසින් වචනයෙන් ද කයින් ද ශ්රමණයන්ට නුසුදුසු බොහෝ දේ කරන ලදී. ඉදින් අපි මේ ඇවැත්වලින් එකිනෙකාට පිළියම් කරවන්නෙමු නම්, ඒ අධිකරණය රළු බවට, සැඩ බවට, භේදයට හේතු වන්නට ද පුළුවන. (එබැවින්) ආයුෂ්මතුන්ට සුදුසු කාලය නම්, ආයුෂ්මතුන්ගේ යම් ඇවැත් ඇත්නම්, තමාගේ යම් ඇවැත් ඇත්නම්, බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර සෙසු ඒ සියලු ඇවැත් ආයුෂ්මතුන්ගේ යහපත පිණිසත් තමාගේ යහපත පිණිසත් සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරන්නෙමි.” ඉන්පසු අනෙක් පක්ෂයට අයත් භික්ෂූන් අතුරෙන් දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් තම පක්ෂයට මෙසේ දැනුම් දිය යුතු ය: “ආයුෂ්මතුනි, මාගේ වචනය අසත්වා. අරගල ඇති වී -පෙ- බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර සෙසු සියලු ඇවැත් සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරන්නෙමි.”
එක් පක්ෂයකට අයත් භික්ෂූන් අතුරෙන් දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසාවා. අරගල ඇති වී, කලහ ඇති වී, විවාදයට පැමිණ වසන අප විසින් වචනයෙන් ද කයින් ද ශ්රමණයන්ට නුසුදුසු බොහෝ දේ කරන ලදී. ඉදින් අපි මේ ඇවැත්වලින් එකිනෙකාට පිළියම් කරවන්නෙමු නම්, ඒ අධිකරණය රළු බවට, සැඩ බවට, භේදයට හේතු වන්නට ද පුළුවන. සංඝයාට සුදුසු කාලය නම්, මම බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර, මේ ආයුෂ්මතුන්ගේ සෙසු යම් ඇවැත් ඇත්නම්, තමාගේ ද සෙසු යම් ඇවැත් ඇත්නම්, ඒ සියල්ල මේ ආයුෂ්මතුන්ගේ යහපත පිණිස ද තමාගේ යහපත පිණිස ද සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරන්නෙමි. මෙය ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසාවා. අරගල ඇති වී -පෙ- මම බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර, මේ ආයුෂ්මතුන්ගේ සෙසු යම් ඇවැත් ඇත්නම්, තමාගේ ද සෙසු යම් ඇවැත් ඇත්නම්, ඒ සියල්ල මේ ආයුෂ්මතුන්ගේ යහපත පිණිස ද තමාගේ යහපත පිණිස ද සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරමි. බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර සෙසු අපගේ මේ සියලු ඇවැත් සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කිරීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය.
බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර සෙසු අපගේ මේ සියලු ඇවැත් සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යි සංඝයාට දැනුම් දිය යුතු ය.
ඉන්පසු අනෙක් පක්ෂයට අයත් භික්ෂූන් අතුරෙන් දක්ෂ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසාවා. අරගල ඇති වී -පෙ- බරපතළ වැරදි ද ගිහියන් හා සම්බන්ධ වැරදි ද හැර සෙසු සියලු ඇවැත් සංඝයා මැද තිණවත්ථාරකයෙන් දේශනා කරන්නෙමි. මෙය ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.