තස්සපාපිය්‍යසිකා
55. අනුවාදාධිකරණය සතිවිනය සහ අමූළ්හවිනය යන සමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයෙනුත් තස්සපාපිය්‍යසිකාවෙනුත් යන සමථ දෙකෙන් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? විය හැකි යැ යි කිව යුතු ය.
කෙසේ ද යත්: මෙහි භික්ෂුවක් සංඝයා මැද දී තවත් භික්ෂුවකට “ආයුෂ්මතුන් පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න (දුක්කට හෝ ථුල්ලච්චය) ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බව සිහි කරනු මැනවි” යි බරපතළ ඇවැතකින් චෝදනා කරයි.
ඒ (චෝදනා ලැබූ) භික්ෂුව “ඇවැත්නි, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න (දුක්කට හෝ ථුල්ලච්චය) ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බවක් මට සිහි නැත” යි කියයි.
ඒ (චෝදනා කරන) භික්ෂුව, චෝදනාවෙන් මිදෙන්නට සැරසෙන ඒ භික්ෂුව “එසේ නම් ආයුෂ්මතුන්, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න (දුක්කට හෝ ථුල්ලච්චය) ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බව සිහි වේ නම්, එය හොඳින් ම දැන ගනු මැනවි” යි තවත් චෝදනාවෙන් වෙළයි.
ඒ (චෝදනා ලැබූ) භික්ෂුව මෙසේ කියයි: “ඇවැත්නි, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බවක් මට කොහෙත්ම සිහි නැත. ඇවැත්නි, එහෙත් මෙබඳු සුළු ඇවැතකට පැමිණි බව නම් මට සිහි වේ” යි.
ඒ (චෝදනා කරන) භික්ෂුව “එසේ නම් ආයුෂ්මතුන්, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බව සිහි වේ නම්, එය හොඳින් ම දැන ගනු මැනවි” යි කියමින්, (‘සිහි නැත’ යි කියා) ඒ චෝදනා වෙළුමෙන් මිදෙන්නට සැරසෙන භික්ෂුව තවත් තදින් වෙළයි.
ඒ (චෝදනා ලැබූ) භික්ෂුව මෙසේ කියයි: “ඇවැත්නි, මම මේ සුළු ඇවැතට පැමිණ, කිසිවකු නොඅසද්දී ම එය පිළිගනිමි. එසේ නම්, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණ, අසනු ලැබූ විට එය නොපිළිගන්නෙම් ද?” යි.
එවිට ඒ (චෝදනා කරන) භික්ෂුව මෙසේ කියයි: “ඇවැත්නි, ඔබ මේ සුළු ඇවැතට පැමිණ, නොඅසද්දී එය පිළිගන්නෙහි ය. එසේ නම්, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණ, අසනු ලැබූ විට එය නොපිළිගන්නෙහි ද? එබැවින් ආයුෂ්මතුන්, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බව සිහි වේ නම්, එය හොඳින් ම දැන ගනු මැනවි” යි.
එවිට ඒ (චෝදනා ලැබූ) භික්ෂුව මෙසේ කියයි: “ඇවැත්නි, පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණියෙමි යි මා කී බව මට සිහි වේ. එය මා කීවේ සෙල්ලමට ය; එය මා කීවේ විහිළුවට ය. පාරාජික ඇවැතකට හෝ පාරාජිකයට ආසන්න ඇවැතකට හෝ, මෙබඳු බරපතළ ඇවැතකට පැමිණි බවක් නම් මට කොහෙත්ම සිහි නැත” යි.
56. මහණෙනි, එසේ කියන ඒ භික්ෂුවට තස්සපාපිය්‍යසිකා කර්මය කළ යුතු ය. මහණෙනි, එය මෙසේ කළ යුතු ය: දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් භික්ෂුව සංඝයා මැද දී බරපතළ ඇවැතක් ගැන ප්‍රශ්න කරනු ලබන විට, ප්‍රතික්ෂේප කොට (වරද නොපිළිගෙන) නැවත පිළිගනී; පිළිගෙන (‘එසේ ය, වරදට පැමිණියෙමි’ යි පිළිගෙන) නැවත ප්‍රතික්ෂේප කරයි (‘සෙල්ලමට එසේ කීවෙමි’ යනාදි වචනයක් කියා නොපිළිගනී, නැතහොත් වරද යටපත් කරයි). එක් කරුණකින් තවත් කරුණක් වසයි. (වරදට පැමිණි බව) දැන දැනම බොරු කියයි. සංඝයාට සුදුසු නම්, සංඝයා මෙනම් භික්ෂුවට තස්සපාපිය්‍යසිකා කර්මය කරන්නේ ය. මෙය ඤත්තිය යි (සංඝයාට කරන යෝජනාව).
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් භික්ෂුව සංඝයා මැද දී බරපතළ ඇවැතක් ගැන ප්‍රශ්න කරනු ලබන විට, ප්‍රතික්ෂේප කොට නැවත පිළිගනී; පිළිගෙන නැවත ප්‍රතික්ෂේප කරයි. එක් කරුණකින් තවත් කරුණක් වසයි. දැන දැනම බොරු කියයි. සංඝයා මෙනම් භික්ෂුවට තස්සපාපිය්‍යසිකා කර්මය කරයි. මෙනම් භික්ෂුවට තස්සපාපිය්‍යසිකා කර්මය කිරීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය. දෙවන වරටත් මේ කරුණ කියමි -පෙ- තුන්වන වරටත් මේ කරුණ කියමි -පෙ- සංඝයා විසින් මෙනම් භික්ෂුවට තස්සපාපිය්‍යසිකා කර්මය කරන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.”
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සංසිඳුණේ යැ යි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද යත්: සම්මුඛාවිනයෙනුත් තස්සපාපිය්‍යසිකාවෙනුත් යන දෙකෙනි. එහි සම්මුඛාවිනයෙහි ඇත්තේ කුමක් ද යත්: සංඝසම්මුඛතාව, ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන හතර ය -පෙ- එහි තස්සපාපිය්‍යසිකාවෙහි ඇත්තේ කුමක් ද? තස්සපාපිය්‍යසිකා කර්මයේ යම් ක්‍රියාවක්, කිරීමක්, එළඹීමක්, එයට එකඟව එළඹීමක්, ඉවසීමක්, විරුද්ධ නොවීමක් වේ ද, මේ එහි තස්සපාපිය්‍යසිකාව යි. මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය කාරක භික්ෂුවක් උක්කෝටනය කරයි නම් (නැවත මතු කරයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්දය දුන් භික්ෂුවක් (මේ අධිකරණය සංසිඳුවීමට) දොස් නඟයි නම්, ඔහුට ඛීයනක පාචිත්තිය ඇවැත වේ.