තුන් ආකාර සලාකා ගැන්වීම
49. එකල සැවැත් නුවර මෙසේ හටගත්, මෙසේ උපන් අධිකරණයක් විය. එවිට ඒ භික්ෂූහු සැවැත් නුවර සංඝයා අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූහ. ඔවුහු ‘අසවල් ආවාසයේ බහුශ්‍රැත වූ, ආගම කටපාඩමින් දන්නා, ධර්මය දරන, විනය දරන, මාතිකා දරන, පණ්ඩිත වූ, දක්ෂ වූ, නුවණැති, ලජ්ජා ඇති, සුළු වරදෙහි පවා කුකුස් ඇති, ශික්ෂාවට කැමති බොහෝ තෙරුන් වහන්සේලා වාසය කරන සේක්ලු. ඉදින් ඒ තෙරුන් වහන්සේලා මේ අධිකරණය ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් සංසිඳුවන්නාහු නම්, මෙසේ මේ අධිකරණය මනාව සංසිඳුණක් වන්නේ ය’ යි ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් වහන්සේලාට මෙසේ කීහ: “ස්වාමීනි, මේ අධිකරණය මෙසේ හටගත්තේ ය, මෙසේ උපන්නේ ය. ස්වාමීනි, අපි යාච්ඤා කරමු. මේ අධිකරණය යම් සේ මනාව සංසිඳුණක් වන්නේ ද, තෙරුන් වහන්සේලා එසේ ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ අධිකරණය සංසිඳුවන සේක්වා” යි.
50. එවිට ඒ තෙරුන් වහන්සේලා, සැවැත් නුවර සංඝයා ඒ අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, (එබැවින් ම) එය යම් සේ මනාව සංසිඳුණේ ද, එසේ ම ඒ අධිකරණය සංසිඳුවූහ.
ඉක්බිති ඒ භික්ෂූහු සැවැත් නුවර සංඝයා අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූහ; බොහෝ තෙරුන් වහන්සේලා අධිකරණය සංසිඳුවීම ගැනත් සතුටු නොවූහ. ඔවුහු ‘අසවල් ආවාසයේ තෙරුන් වහන්සේලා තුන් නමක් වාසය කරන සේක්ලු -පෙ- තෙරුන් වහන්සේලා දෙනමක් වාසය කරන සේක්ලු -පෙ- බහුශ්‍රැත වූ, ආගම කටපාඩමින් දන්නා, ධර්මය දරන, විනය දරන, මාතිකා දරන, පණ්ඩිත වූ, දක්ෂ වූ, නුවණැති, ලජ්ජා ඇති, සුළු වරදෙහි පවා කුකුස් ඇති, ශික්ෂාවට කැමති එක් තෙර නමක් වාසය කරන සේක්ලු. ඉදින් ඒ තෙරුන් වහන්සේ මේ අධිකරණය ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් සංසිඳුවන්නේ නම්, මෙසේ මේ අධිකරණය මනාව සංසිඳුණක් වන්නේ ය’ යි ඇසූහ.
51. එවිට ඒ භික්ෂූහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් වහන්සේට මෙසේ කීහ: “ස්වාමීනි, මේ අධිකරණය මෙසේ හටගත්තේ ය, මෙසේ උපන්නේ ය. ස්වාමීනි, අපි යාච්ඤා කරමු. මේ අධිකරණය යම් සේ මනාව සංසිඳුණක් වන්නේ ද, තෙරුන් වහන්සේ එසේ ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ අධිකරණය සංසිඳුවන සේක්වා” යි.
එවිට ඒ තෙරුන් වහන්සේ, සැවැත් නුවර සංඝයා ඒ අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, බොහෝ තෙරුන් වහන්සේලා (ඒ) අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, තෙරුන් වහන්සේලා තුන් නම (ඒ) අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, තෙරුන් වහන්සේලා දෙනම (ඒ) අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, එය මනාව සංසිඳුණු පරිදි ම ඒ අධිකරණය සංසිඳුවූහ.
52. එවිට ඒ භික්ෂූහු සැවැත් නුවර සංඝයා අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූවාහු, බොහෝ තෙරුන් වහන්සේලා අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූවාහු, තෙරුන් වහන්සේලා තුන් නම අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූවාහු, තෙරුන් වහන්සේලා දෙනම අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූවාහු, එක් තෙර නමක් අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූවාහු, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“මහණෙනි, මේ අධිකරණය නිම කරන ලද්දකි, සංසිඳුණකි, විශේෂයෙන් සංසිඳුණකි, මනාව සංසිඳුණකි. මහණෙනි, ඒ භික්ෂූන්ට තේරුම් කරවා එකඟ කරවනු පිණිස ගුළ්හකය (රහසින් සලාකා ගැන්වීම), සකණ්ණජප්පකය (කනට කොඳුරා සලාකා ගැන්වීම), විවටකය (විවෘතව සලාකා ගැන්වීම) යන සලාකා ගැන්වීම් තුන අනුමත කරමි.”