සතිවිනය
53. අනුවාදාධිකරණය (චෝදනා කිරීමෙන් හටගත් අධිකරණය) සමථ (අධිකරණ සංසිඳුවන ක්රම) කීයකින් සංසිඳෙයි ද? අනුවාදාධිකරණය සම්මුඛාවිනයෙන් ද, සතිවිනයෙන් ද, අමූළ්හවිනයෙන් ද, තස්සපාපිය්යසිකාවෙන් ද යන සමථ හතරෙන් සංසිඳෙයි.
අනුවාදාධිකරණය අමූළ්හවිනය ද තස්සපාපිය්යසිකාව ද යන සමථ දෙකට නොපැමිණ, සම්මුඛාවිනයෙන් ද සතිවිනයෙන් ද යන සමථ දෙකින් සංසිඳෙන්නේ ය යන්න විය හැකි ද? “විය හැකි ය” යි කිව යුතු ය. එය කෙසේ ද යත්: මෙහි භික්ෂූන් කිසියම් භික්ෂුවකට පදනමක් නැති (අමූලක) සීලවිපත්තියකින් (සිල් බිඳීමකින්) චෝදනා කෙරෙත් නම්, මහණෙනි, සිහිය වැඩුණු බවට පැමිණි ඒ භික්ෂුවට සතිවිනය දිය යුතු ය.
මහණෙනි, (සතිවිනය) මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ භික්ෂුව සංඝයා වෙත ගොස්, තනිපට සිවුර එක් උරයකට කොට පොරවා, උක්කුටිකව (දණහිස් බිම නොතබා පතුල් මත) හිඳ, දොහොත් මුදුන් තබා, “ස්වාමීනි, භික්ෂූන් මට පදනමක් නැති සීලවිපත්තියකින් චෝදනා කෙරෙති. ස්වාමීනි, සිහිය වැඩුණු බවට පැමිණි මම සංඝයාගෙන් සතිවිනය ඉල්ලමි” යි මෙසේ කිව යුතු ය. දෙවන වරටත් ඉල්ලිය යුතු ය, තුන්වන වරටත් ඉල්ලිය යුතු ය.
දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය: “ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. භික්ෂූන් මෙනම් භික්ෂුවට පදනමක් නැති සීලවිපත්තියකින් චෝදනා කෙරෙති. සිහිය වැඩුණු බවට පැමිණි හෙතෙම සංඝයාගෙන් සතිවිනය ඉල්ලයි. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා සිහිය වැඩුණු බවට පැමිණි මෙනම් භික්ෂුවට සතිවිනය දෙන්නේ ය. මේ ඤත්තිය යි (සංඝයාට කරන යෝජනාව).”
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. භික්ෂූන් මෙනම් භික්ෂුවට පදනමක් නැති සීලවිපත්තියකින් චෝදනා කෙරෙති. සිහිය වැඩුණු බවට පැමිණි හෙතෙම සංඝයාගෙන් සතිවිනය ඉල්ලයි. සංඝයා සිහිය වැඩුණු බවට පැමිණි මෙනම් භික්ෂුවට සතිවිනය දෙයි. සිහිය වැඩුණු බවට පැමිණි මෙනම් භික්ෂුවට සතිවිනය දීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය. දෙවන වරටත් මේ කරුණ කියමි -පෙ- තුන්වන වරටත් මේ කරුණ කියමි -පෙ- සංඝයා විසින් සිහිය වැඩුණු බවට පැමිණි මෙනම් භික්ෂුවට සතිවිනය දෙන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.”
මහණෙනි, (මෙසේ) මේ අධිකරණය සංසිඳුණේ යැ යි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද යත්: සම්මුඛාවිනයෙනුත් සතිවිනයෙනුත් ය. එහි සම්මුඛාවිනයෙහි ඇත්තේ කුමක් ද යත්: සංඝසම්මුඛතාව, ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව -පෙ- එහි පුද්ගලසම්මුඛතාව කුමක් ද? යමෙක් චෝදනා කෙරේ ද, යමෙකුට චෝදනා කෙරේ ද, තම පක්ෂයෙහි හා විරුද්ධ පක්ෂයෙහි වූ ඒ දෙදෙනා ම එකිනෙකා ඉදිරියේ සිටිත් ද, මේ එහි පුද්ගලසම්මුඛතාව යි. එහි සතිවිනයෙහි ඇත්තේ කුමක් ද? සතිවිනය කර්මයේ යම් ක්රියාවක්, කිරීමක්, එළඹීමක්, එයට එකඟව එළඹීමක්, ඉවසීමක්, විරුද්ධ නොවීමක් වේ ද, මේ එහි සතිවිනය යි. මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය කාරක භික්ෂුවක් උක්කෝටනය කරයි නම් (නැවත මතු කරයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. ඡන්දය දුන් භික්ෂුවක් දොස් නඟයි නම්, ඔහුට ඛීයනක පාචිත්තිය ඇවැත වේ.