යේභුය්‍යසිකා විනය
48. මහණෙනි, ඉදින් ඒ භික්ෂූන්ට ඒ අධිකරණය උබ්බාහිකාවෙන් සංසිඳුවන්නට නොහැකි වේ නම්, මහණෙනි, ඒ භික්ෂූන් “ස්වාමීනි, අපට මේ අධිකරණය උබ්බාහිකාවෙන් සංසිඳුවන්නට නොහැකි ය. සංඝයා මේ අධිකරණය සංසිඳුවන සේක්වා” යි කියා ඒ අධිකරණය සංඝයාට මෙසේ පැවරිය යුතු ය. මහණෙනි, මෙබඳු අධිකරණයක් යේභුය්‍යසිකාවෙන් (බහුතරයේ මතයෙන්) සංසිඳුවන්නට අනුමත කරමි.
අංග පහකින් යුත් භික්ෂුවක් සලාකා (ඡන්දය දීමට ගන්නා කූරු) ගන්වන්නෙකු ලෙස සම්මත කළ යුතු ය: යමෙක් කැමැත්ත නිසා අගතියට නොයන්නේ ද, ද්වේෂය නිසා අගතියට නොයන්නේ ද, මෝහය නිසා අගතියට නොයන්නේ ද, බිය නිසා අගතියට නොයන්නේ ද, ගත් සලාකා හා නොගත් සලාකා දන්නේ ද -පෙ- මෙබඳු භික්ෂුව සලාකා ගන්වන්නෙකු ලෙස සම්මත කළ යුතු ය. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය: පළමුව ඒ භික්ෂුවගෙන් ඉල්ලා සිටිය යුතු ය. ඉල්ලා සිටීමෙන් පසු දක්ෂ, සමත් භික්ෂුවක් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. ඉදින් සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා මෙනම් භික්ෂුව සලාකා ගන්වන්නෙකු ලෙස සම්මත කරන්නේ ය. මෙය ඤත්තිය යි (සංඝයාට කරන යෝජනාව).
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. සංඝයා මෙනම් භික්ෂුව සලාකා ගන්වන්නෙකු ලෙස සම්මත කරයි. මෙනම් භික්ෂුව සලාකා ගන්වන්නෙකු ලෙස සම්මත කිරීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය. සංඝයා විසින් මෙනම් භික්ෂුව සලාකා ගන්වන්නෙකු ලෙස සම්මත කරන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි” යනුවෙනි.
ඒ සලාකා ගන්වන භික්ෂුව සලාකා ගැන්විය යුතු ය. ධර්මවාදී භික්ෂූන් බහුතරයක් යම් සේ කියත් ද, ඒ අධිකරණය එසේ සංසිඳුවිය යුතු ය. මහණෙනි, මෙය සංසිඳුණු අධිකරණයක් යැයි කියනු ලැබේ. කුමකින් සංසිඳුණේ ද? සම්මුඛාවිනයෙන් හා යේභුය්‍යසිකාවෙන් යන දෙකෙනි. එහි සම්මුඛාවිනය නම් කුමක් ද? සංඝසම්මුඛතාව, ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව, පුද්ගලසම්මුඛතාව යන හතර යි. එහි සංඝසම්මුඛතාව නම් කුමක් ද? කර්මයට සහභාගී වීමට සුදුසු භික්ෂූන් යම් පමණ වෙත් ද, ඔවුහු පැමිණ සිටිත් ද, ඡන්දය දීමට සුදුසු භික්ෂූන්ගේ ඡන්දය ගෙනැවිත් තිබේ ද, එහි පැමිණ සිටින භික්ෂූහු විරෝධය නොපාත් ද, මෙය එහි සංඝසම්මුඛතාව යි.
එහි ධර්මසම්මුඛතාව, විනයසම්මුඛතාව නම් කුමක් ද? යම් ධර්මයකින්, යම් විනයකින්, ශාස්තෘන් වහන්සේගේ යම් අනුශාසනාවකින් ඒ අධිකරණය සංසිඳේ ද, මෙය එහි ධර්මසම්මුඛතාව යි, විනයසම්මුඛතාව යි.
එහි පුද්ගලසම්මුඛතාව නම් කුමක් ද? යමෙක් විවාද කරයි ද, යමෙකු සමඟ විවාද කරයි ද, තම පක්ෂයේ පුද්ගලයාත් විරුද්ධ පක්ෂයේ පුද්ගලයාත් යන ඒ දෙදෙනා ම මුහුණට මුහුණ හමු වී සිටිත් ද, මෙය එහි පුද්ගලසම්මුඛතාව යි.
එහි යේභුය්‍යසිකාව නම් කුමක් ද? යේභුය්‍යසිකා කර්මය පිළිබඳ යම් ක්‍රියාවක්, කිරීමක්, එළඹීමක්, එයට එකඟව එළඹීමක්, ඉවසීමක්, විරුද්ධ නොවීමක් වේ ද, මෙය එහි යේභුය්‍යසිකාව යි.
මහණෙනි, මෙසේ සංසිඳුණු අධිකරණය එයට සම්බන්ධ වූ (කාරක) භික්ෂුවක් උක්කෝටනය කරයි නම් (නැවත ඉදිරියට ඇදගෙන එයි නම්), ඔහුට උක්කෝටනක පාචිත්තිය ඇවැත වේ. විනිශ්චයේදී ඡන්දය දුන් භික්ෂුවක් ඒ විනිශ්චයට දොස් කියයි නම්, ඔහුට ඛීයනක පාචිත්තිය ඇවැත වේ.
තුන් ආකාර සලාකා ගැන්වීම
49. එකල සැවැත් නුවර මෙසේ හටගත්, මෙසේ උපන් අධිකරණයක් විය. එවිට ඒ භික්ෂූහු සැවැත් නුවර සංඝයා අධිකරණය සංසිඳුවීම ගැන සතුටු නොවූහ. ඔවුහු ‘අසවල් ආවාසයේ බහුශ්‍රැත වූ, ආගම කටපාඩමින් දන්නා, ධර්මය දරන, විනය දරන, මාතිකා දරන, පණ්ඩිත වූ, දක්ෂ වූ, නුවණැති, ලජ්ජා ඇති, සුළු වරදෙහි පවා කුකුස් ඇති, ශික්ෂාවට කැමති බොහෝ තෙරුන් වහන්සේලා වාසය කරන සේක්ලු. ඉදින් ඒ තෙරුන් වහන්සේලා මේ අධිකරණය ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් සංසිඳුවන්නාහු නම්, මෙසේ මේ අධිකරණය මනාව සංසිඳුණක් වන්නේ ය’ යි ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු ඒ ආවාසයට ගොස් ඒ තෙරුන් වහන්සේලාට මෙසේ කීහ: “ස්වාමීනි, මේ අධිකරණය මෙසේ හටගත්තේ ය, මෙසේ උපන්නේ ය. ස්වාමීනි, අපි යාච්ඤා කරමු. මේ අධිකරණය යම් සේ මනාව සංසිඳුණක් වන්නේ ද, තෙරුන් වහන්සේලා එසේ ධර්මයෙන්, විනයෙන්, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවෙන් මේ අධිකරණය සංසිඳුවන සේක්වා” යි.
50. එවිට ඒ තෙරුන් වහන්සේලා, සැවැත් නුවර සංඝයා ඒ අධිකරණය යම් සේ සංසිඳුවූයේ ද, (එබැවින් ම) එය යම් සේ මනාව සංසිඳුණේ ද, එසේ ම ඒ අධිකරණය සංසිඳුවූහ.