4. පටිඤ්ඤාතකරණය
7. ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන්, චෝදනා ලැබූ භික්ෂූන් ‘අපි වරද කළෙමු’ යි පිළි නොගත්තත් (ප්‍රතිඥාවක් නැතිව), භික්ෂූන්ට තජ්ජනීය කර්මය ද නියස්ස කර්මය ද පබ්බාජනීය කර්මය ද පටිසාරණීය කර්මය ද උක්ඛේපනීය කර්මය ද කරති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂූන් සිටියේ ද -පෙ- ඔවුහු “ෂඩ්වර්ගික භික්ෂූන් ප්‍රතිඥාවක් නැතිව භික්ෂූන්ට තජ්ජනීය කර්මයත්, නියස්ස කර්මයත්, පබ්බාජනීය කර්මයත්, පටිසාරණීය කර්මයත්, උක්ඛේපනීය කර්මයත් කරන්නේ කෙසේ ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. ඉන්පසු ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැල කළහ. -පෙ- “මහණෙනි, එය සැබෑ ද?” -පෙ- යි විචාළ සේක.
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස” යි භික්ෂූන් පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ -පෙ- ගරහා, ධර්ම කතාවක් කොට භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක: “මහණෙනි, ප්‍රතිඥාවක් නැතිව භික්ෂූන්ට තජ්ජනීය කර්මය හෝ නියස්ස කර්මය හෝ පබ්බාජනීය කර්මය හෝ පටිසාරණීය කර්මය හෝ උක්ඛේපනීය කර්මය හෝ නොකළ යුතු ය. යමෙක් එය කරන්නේ නම්, ඔහුට දුක්කට ඇවැත් වේ.
8. මහණෙනි, පටිඤ්ඤාතකරණය (චෝදනා ලැබූ භික්ෂුව තමා පිළිගත් වරද අනුව විනය කර්මය කිරීම) මෙසේ (මතු දැක්වෙන පරිදි) නොදැහැමි වෙයි, මෙසේ දැහැමි වෙයි. මහණෙනි, පටිඤ්ඤාතකරණය නොදැහැමි වන්නේ කෙසේ ද? භික්ෂුවක් පාරාජිකා ඇවැතට පැමිණියේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්ෂූහු හෝ එක් භික්ෂුවක් හෝ “ආයුෂ්මතුන් පාරාජිකා ඇවැතට පැමිණියේ ය” යි ඔහුට චෝදනා කරයි. එවිට ඔහු “ඇවැත්නි, මම පාරාජිකා ඇවැතට නොපැමිණියෙමි, සංඝාදිසේස ඇවැතට පැමිණියෙමි” යි කියයි. සංඝයා ඔහු ලවා සංඝාදිසේස ඇවැතට අදාළ විනය කර්මය කරවයි. මෙය නොදැහැමි පටිඤ්ඤාතකරණයකි.
භික්ෂුවක් පාරාජිකා ඇවැතට පැමිණියේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්ෂූහු හෝ එක් භික්ෂුවක් හෝ “ආයුෂ්මතුන් පාරාජිකා ඇවැතට පැමිණියේ ය” යි ඔහුට චෝදනා කරයි. ඔහු “ඇවැත්නි, මම පාරාජිකා ඇවැතට නොපැමිණියෙමි, ථුල්ලච්චය ඇවැතට -පෙ- පාචිත්තිය ඇවැතට -පෙ- පාටිදේසනීය ඇවැතට -පෙ- දුක්කට ඇවැතට -පෙ- දුබ්භාසිත ඇවැතට පැමිණියෙමි” යි කියයි. සංඝයා ඔහු ලවා දුබ්භාසිත ඇවැතට අදාළ විනය කර්මය කරවයි. මෙය ද නොදැහැමි පටිඤ්ඤාතකරණයකි. භික්ෂුවක් සංඝාදිසේස ඇවැතට -පෙ- ථුල්ලච්චය ඇවැතට -පෙ- පාචිත්තිය ඇවැතට -පෙ- පාටිදේසනීය ඇවැතට -පෙ- දුක්කට ඇවැතට -පෙ- දුබ්භාසිත ඇවැතට පැමිණියේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්ෂූහු හෝ එක් භික්ෂුවක් හෝ “ආයුෂ්මතුන් දුබ්භාසිත ඇවැතට පැමිණියේ ය” යි ඔහුට චෝදනා කරයි. ඔහු “ඇවැත්නි, මම දුබ්භාසිත ඇවැතට නොපැමිණියෙමි, පාරාජිකා ඇවැතට පැමිණියෙමි” යි කියයි. සංඝයා ඔහු ලවා පාරාජිකා ඇවැතට අදාළ විනය කර්මය කරවයි. මෙය ද නොදැහැමි පටිඤ්ඤාතකරණයකි.
භික්ෂුවක් දුබ්භාසිත ඇවැතට පැමිණියේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්ෂූහු හෝ එක් පුද්ගලයෙක් හෝ “ආයුෂ්මතුන් දුබ්භාසිත ඇවැතට පැමිණියේ ය” යි ඔහුට චෝදනා කරයි. ඔහු “ඇවැත්නි, මම දුබ්භාසිත ඇවැතට නොපැමිණියෙමි, සංඝාදිසේස ඇවැතට පැමිණියෙමි” යි -පෙ- “ථුල්ලච්චය ඇවැතට -පෙ- පාචිත්තිය ඇවැතට -පෙ- පාටිදේසනීය ඇවැතට -පෙ- දුක්කට ඇවැතට පැමිණියෙමි” යි කියයි. සංඝයා ඔහු ලවා දුක්කට ඇවැතට අදාළ විනය කර්මය කරවයි. මෙය නොදැහැමි පටිඤ්ඤාතකරණයකි. මහණෙනි, පටිඤ්ඤාතකරණය නොදැහැමි වන්නේ මෙසේ ය.
9. මහණෙනි, පටිඤ්ඤාතකරණය දැහැමි වන්නේ කෙසේ ද? භික්ෂුවක් පාරාජිකා ඇවැතට පැමිණියේ වෙයි. සංඝයා හෝ බොහෝ භික්ෂූහු හෝ එක් පුද්ගලයෙක් හෝ “ආයුෂ්මතුන් පාරාජිකා ඇවැතට පැමිණියේ ය” යි ඔහුට චෝදනා කරයි. ඔහු “එසේ ය, ඇවැත්නි, මම පාරාජිකා ඇවැතට පැමිණියෙමි” යි කියයි. සංඝයා ඔහු ලවා පාරාජිකා ඇවැතට අදාළ විනය කර්මය කරවයි. මෙය දැහැමි පටිඤ්ඤාතකරණයකි.