5. යේභුය්‍යසිකාව
10. එකල භික්ෂූහු සංඝයා මැද කලහ ඇති කරගෙන, රණ්ඩු ඇති කරගෙන, විවාදවලට පැටලී, මුඛය නැමැති හෙල්ලවලින් එකිනෙකා විදිමින් වාසය කරති. ඒ අධිකරණය (ආරවුල) සංසිඳුවන්නට භික්ෂූන්ට නොහැකි විය. ඔවුහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, මෙබඳු අධිකරණයක් යේභුය්‍යසිකාවෙන් (ධර්මවාදීන්ගෙන් බහුතරයක් ලවා කරන සංසිඳවීමෙන්) සංසිඳුවන්නට අනුමත කරමි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
(තව ද එය කරන ආකාරය මෙසේ වදාළ සේක.)
11. “මහණෙනි, යම් භික්ෂුවක් කැමැත්ත නිසා අගතියට (වැරදි මඟට) නොයයි ද, ද්වේෂය නිසා අගතියට නොයයි ද, මෝහය නිසා අගතියට නොයයි ද, බිය නිසා අගතියට නොයයි ද, ගත් සලාකා සහ නොගත් සලාකා දනී ද, මේ අංග පහෙන් යුත් භික්ෂුව සලාකා (ඡන්දය දීමට ගන්නා කූරු) ගන්වන්නා ලෙස සම්මත කළ යුතු ය. මහණෙනි, මෙසේ සම්මත කළ යුතු ය. පළමුව ඒ භික්ෂුවගෙන් ඉල්ලා සිටිය යුතු ය. ඉල්ලා, දක්ෂ, සමත් භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
‘ස්වාමීනි, සංඝයා මා කියන දේ අසත්වා. සංඝයාට සුදුසු කාලය නම් (මෙයට සුදුසු කාලය යැයි හැඟේ නම්), සංඝයා මේ නම් ඇති භික්ෂුව සලාකා ගන්වන්නා ලෙස සම්මත කරන්නේ ය. මේ ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.
ස්වාමීනි, සංඝයා මා කියන දේ අසත්වා. සංඝයා මේ නම් ඇති භික්ෂුව සලාකා ගන්වන්නා ලෙස සම්මත කරයි. යම් ආයුෂ්මතෙකුට මේ නම් ඇති භික්ෂුව සලාකා ගන්වන්නා ලෙස සම්මත කිරීම කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය. සංඝයා විසින් මේ නම් ඇති භික්ෂුව සලාකා ගන්වන්නා ලෙස සම්මත කරන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි’ යනුවෙනි.”
12. “මහණෙනි, නොදැහැමි සලාකා ගැන්වීම් මේ දහයකි; දැහැමි සලාකා ගැන්වීම් දහයකි.
නොදැහැමි සලාකා ගැන්වීම් දහය කවරේ ද? අධිකරණය ඉතා සුළු එකක් වෙයි. එය ආවාස දෙක තුනකට ගෙන ගොස් නැත (නොහොත් දෙතුන් වරක් විනිශ්චය කර නැත). ඒ භික්ෂූන් විසින් දෙතුන් වරක් තමන් සිහි කර ද නැත, අනුන් ලවා සිහි කරවා ද නැත. අධර්මවාදීහු (ධර්මයට පටහැනිව කියන්නෝ) බහුතරයක් යැයි දනී. අධර්මවාදීන් බහුතරයක් වුවහොත් ඉතා හොඳ යැයි සිතා සලාකා ගන්වයි. සංඝයා බිඳෙනු ඇතැයි දනී. සංඝයා බිඳුණොත් ඉතා හොඳ යැයි සිතා සලාකා ගන්වයි. නොදැහැමිව (අධර්මවාදී අපි වඩා බලවත් වන්නෙමු යි සිතා සලාකා දෙක බැගින්) ගනිති. කොටස්වලට බෙදී, ධර්මවාදී සලාකා අඩු වනු පිණිස ධර්මවාදීන් දෙදෙනෙක් එක් සලාකාවක් බැගින් ගනිති. තමන්ගේ මතය අනුව සලාකා නොගනිති. මේ නොදැහැමි සලාකා ගැන්වීම් දහය යි.
දැහැමි සලාකා ගැන්වීම් දහය කවරේ ද? අධිකරණය සුළු එකක් නොවෙයි. එය ආවාසවලට ගෙන ගොස් ඇත (නොහොත් දෙතුන් වරක් විනිශ්චය කර ඇත). ඒ භික්ෂූන් විසින් දෙතුන් වරක් තමන් සිහි කර ද ඇත, අනුන් ලවා සිහි කරවා ද ඇත. ධර්මවාදීහු බහුතරයක් යැයි දනී. ධර්මවාදීන් බහුතරයක් වුවහොත් ඉතා හොඳ යැයි සිතා සලාකා ගන්වයි. සංඝයා නොබිඳෙනු ඇතැයි දනී. සංඝයා නොබිඳුණොත් ඉතා හොඳ යැයි සිතා සලාකා ගන්වයි. දැහැමිව සලාකා ගනිති. (දෙදෙනෙක් එක් සලාකාවක් නොගෙන) සමඟිව සලාකා ගනිති. (තම පක්ෂය ශක්තිමත් කර ගැනීමට නොව) තමන්ගේ මතය අනුව සලාකා ගනිති. මේ දැහැමි සලාකා ගැන්වීම් දහය යි” යි ද වදාළ සේක.
6. තස්සපාපිය්‍යසිකාව
13. එකල උවාළ නම් භික්ෂුව සංඝයා මැද ඇවැතක් ගැන ප්‍රශ්න කරනු ලබන විට, ප්‍රතික්ෂේප කොට පිළිගනියි; පිළිගෙන ප්‍රතික්ෂේප කරයි. එක් කරුණකින් තවත් කරුණක් වසා දමයි. දැන දැනම බොරු කියයි. යම් භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) ද, -පෙ- ඔවුහු “උවාළ භික්ෂුව සංඝයා මැද ඇවැතක් ගැන ප්‍රශ්න කරනු ලබන විට කෙසේ නම් ප්‍රතික්ෂේප කොට පිළිගනී ද, පිළිගෙන ප්‍රතික්ෂේප කරයි ද, එක් කරුණකින් තවත් කරුණක් වසා දමයි ද, දැන දැනම බොරු කියයි ද” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති.