4. මාස දෙකක පරිවාසය පිරිය යුතු ආකාරය
1. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණෙයි. ඒ භික්ෂුවට “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ”යි සිතෙයි. ඔහු මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් දෙයි. පරිවාසය පුරන ඒ භික්ෂුවට “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි” යි පවට ලැජ්ජා වන සිතක් (ලජ්ජීධර්මය) ඇති වෙයි. ‘එවිට මට, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි, මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. ඒ මට සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් දුන්නේ ය. පරිවාසය පුරන ඒ මට, මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැයි පවට ලැජ්ජා වන සිතක් ඇති විය.’ ඔහු මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් දෙයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් (සංඝයාට දන්වා නොතිබූ) ඒ ඇවැත මුල් කොට මාස දෙකක් පරිවාසය පිරිය යුතු ය.
2. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දනී. එක් ඇවැතක් නොදනී. ඔහු යම් ඇවැතක් දනී නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් ඔහුට දෙයි. පරිවාසය පුරන ඔහු අනිත් ඇවැත ද දැන ගනී. ඔහුට මෙසේ සිතෙයි: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එක් ඇවැතක් දැන සිටියෙමි. එක් ඇවැතක් නොදැන සිටියෙමි. ඒ මම යම් ඇවැතක් දැන සිටියෙම් නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මම දැන් අනිත් ඇවැත ද දනිමි. මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපති.” ඔහු මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් දෙයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් (පසුව දැන ගත්) ඒ ඇවැත මුල් කොට මාස දෙකක් පරිවාසය පිරිය යුතු ය.
3. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් ඇවැතක් සිහි කරයි. එක් ඇවැතක් සිහි නොකරයි. ඔහු යම් ඇවැතක් සිහි කරයි නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් දෙයි.
පරිවාසය පුරන ඒ භික්ෂුව අනිත් ඇවැත ද සිහි කරයි. ඒ භික්ෂුවට මෙසේ සිතෙයි: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. (ඉන්) එක් ඇවැතක් සිහි කළෙමි. එක් ඇවැතක් සිහි නොකළෙමි. ඒ මම යම් ඇවැතක් සිහි කළෙම් නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මම දැන් අනිත් ඇවැත ද සිහි කරමි. මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපති.” ඔහු මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් දෙයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් (පසුව සිහි කළ) ඒ ඇවැත මුල් කොට මාස දෙකක් පරිවාසය පිරිය යුතු ය.
4. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණෙයි. (ඉන්) එක් ඇවැතක් ගැන ඔහුට සැකයක් නැත. එක් ඇවැතක් ගැන සැකයක් ඇත. ඔහු යම් ඇවැතක් ගැන සැකයක් නැත්තේ නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් දෙයි. පරිවාසය පුරන ඒ භික්ෂුව අනිත් ඇවැත ගැන ද සැකයක් නැත්තෙක් වෙයි. ඒ භික්ෂුවට මෙසේ සිතෙයි: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එක් ඇවැතක් ගැන මට සැකයක් තිබිණ. එක් ඇවැතක් ගැන සැකයක් නොතිබිණ. ඒ මම යම් ඇවැතක් ගැන සැකයක් නැත්තෙම් නම්, මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැතට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මම දැන් අනිත් ඇවැත ගැන ද සැකයක් නැත්තෙක් වීමි. මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපති.” ඔහු මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ අනිත් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් ඔහුට දෙයි. මහණෙනි, ඒ භික්ෂුව විසින් (පසුව සැක දුරු වූ) ඒ ඇවැත මුල් කොට මාස දෙකක් පරිවාසය පිරිය යුතු ය.
5. මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණෙයි. එක් ඇවැතක් දැන දැන සඟවන ලද්දකි. එක් ඇවැතක් නොදැන සඟවන ලද්දකි. ඔහු මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැත් දෙකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලයි. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ ඒ ඇවැත් දෙකට මාස දෙකක පරිවාසයක් දෙයි.