2. චිරපටිච්ඡන්න අග්ඝසමෝධාන පරිවාසය
1. එකල එක්තරා භික්ෂුවක් සංඝාදිසේස ඇවැත් බොහොමයකට පැමිණියේ ය. එක් ඇවැතක් එක් දිනක් සඟවා තිබිණි. ඇවැත් දෙකක් දින දෙකක් සඟවා තිබිණි. ඇවැත් තුනක් දින තුනක් සඟවා තිබිණි. ඇවැත් හතරක් දින හතරක් සඟවා තිබිණි. ඇවැත් පහක් දින පහක් සඟවා තිබිණි. ඇවැත් හයක් දින හයක් සඟවා තිබිණි. ඇවැත් හතක් දින හතක් සඟවා තිබිණි. ඇවැත් අටක් දින අටක් සඟවා තිබිණි. ඇවැත් නවයක් දින නවයක් සඟවා තිබිණි. ඇවැත් දහයක් දින දහයක් සඟවා තිබිණි.
2. ඒ භික්ෂුව “ඇවැත්නි, මම සංඝාදිසේස ඇවැත් බොහොමයකට පැමිණියෙමි. එක් ඇවැතක් එක් දිනක් සඟවා තිබිණි -පෙ- ඇවැත් දහයක් දින දහයක් සඟවා තිබිණි. මා කෙසේ පිළිපැදිය යුතු ද?” යි භික්ෂූන්ට කීවේ ය. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ. “මහණෙනි, එසේ නම් සංඝයා ඒ භික්ෂුවට, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් (ප්‍රමාණයෙන්) සමෝධාන පරිවාසය දෙත්වා. මහණෙනි, එය මෙසේ දිය යුතු ය: මහණෙනි, ඒ භික්ෂුව සංඝයා වෙත ගොස් උතුරු සළුව එක් උරයක් වසා සිටින සේ පොරවා -පෙ- මෙසේ කිය යුතු ය: ‘ස්වාමීනි, මම සංඝාදිසේස ඇවැත් බොහොමයකට පැමිණියෙමි. එක් ඇවැතක් එක් දිනක් සඟවා තිබිණි -පෙ- ඇවැත් දහයක් දින දහයක් සඟවා තිබිණි. ස්වාමීනි, ඒ මම, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය සංඝයාගෙන් ඉල්ලමි’ යි. දෙවනුව ද ඉල්ලිය යුතු ය -පෙ- තෙවනුව ද ඉල්ලිය යුතු ය -පෙ-.
3. දක්ෂ, සමර්ථ භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ නම් ඇති මේ භික්ෂුව සංඝාදිසේස ඇවැත් බොහොමයකට පැමිණියේ ය. එක් ඇවැතක් එක් දිනක් සඟවා තිබිණි -පෙ- ඇවැත් දහයක් දින දහයක් සඟවා තිබිණි. ඔහු ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය සංඝයාගෙන් ඉල්ලයි. සංඝයාට මේ කර්මය කිරීමට සුදුසු කාලය නම්, සංඝයා මේ නම් ඇති භික්ෂුවට, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය දෙන්නේ ය. මෙය ඤත්තිය (සංඝයාට කරන යෝජනාව) යි.
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ නම් ඇති මේ භික්ෂුව සංඝාදිසේස ඇවැත් බොහොමයකට පැමිණියේ ය. එක් ඇවැතක් එක් දිනක් සඟවා තිබිණි -පෙ- ඇවැත් දහයක් දින දහයක් සඟවා තිබිණි. ඔහු ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය සංඝයාගෙන් ඉල්ලයි.
සංඝයා මේ නම් ඇති භික්ෂුවට, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය දෙයි. මේ නම් ඇති භික්ෂුවට, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය දීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ විය යුතු ය; යමෙකුට අකමැති නම්, හෙතෙම කතා කළ යුතු ය.
දෙවනුව ද මේ කරුණ කියමි -පෙ-. තෙවනුව ද මේ කරුණ කියමි -පෙ-.
සංඝයා විසින් මේ නම් ඇති භික්ෂුවට, ඒ ඇවැත් අතුරෙන් සියල්ලට ම වඩා වැඩි කලක් සඟවා තිබූ යම් ඇවැත් ඇද්ද, ඒ ඇවැත්වල අගයෙන් සමෝධාන පරිවාසය දෙන ලදී. සංඝයා එයට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙසේ මෙය දරමි.”
අග්ඝසමෝධාන පරිවාසය නිමි.
3. මාස දෙකක පරිවාසය
1. එකල්හි එක්තරා භික්ෂුවක් මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියේ වෙයි. ඒ භික්ෂුවට මෙසේ සිතුණේ ය: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපත.” ඔහු මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලී ය. සංඝයා ඒ භික්ෂුවට මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් දුන්නේ ය. පරිවාසය පුරන ඔහුට ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය: “මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එවිට මට ‘මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට ලජ්ජී ගුණය ඇති විය. මාස දෙකක් සඟවා තිබූ අනෙක් ඇවැතට ද මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපත.”
2. ඒ භික්ෂුව භික්ෂූන්ට මෙසේ කීය: “ඇවැත්නි, මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. එවිට මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය. ඒ මම මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් සංඝයාගෙන් ඉල්ලුවෙමි. සංඝයා මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මට දුන්නේ ය. පරිවාසය පුරන මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි’ යි ලජ්ජී ගුණය (පවට ලැජ්ජාව) ඇති විය. එවිට මට ‘මම මාස දෙකක් සඟවා තිබූ සංඝාදිසේස ඇවැත් දෙකකට පැමිණියෙමි. මාස දෙකක් සඟවා තිබූ එක් ඇවැතකට මාස දෙකක පරිවාසයක් මම සංඝයාගෙන් ඉල්ලන්නේ නම් යහපතැ’යි සිතුණේ ය.