3. පබ්බාජනීය කර්මය
[අස්සජි පුනබ්බසුක භික්ෂූන්ගේ අනාචාර]
1. ඒ කාලයෙහි අස්සජි පුනබ්බසුක නම් වූ, පවට ලැජ්ජා නැති ලාමක භික්ෂූහු කීටාගිරියෙහි ආවාසිකව (ස්ථිරව වාසය කරමින්) සිටියහ. ඔවුහු මෙබඳු අනාචාර කරති: තමන් ද මල් පැළ සිටුවති, අනුන් ලවා ද සිටුවවති. තමන් ද වතුර ඉසිති, අනුන් ලවා ද ඉස්සවති. තමන් ද මල් නෙළති, අනුන් ලවා ද මල් නෙළවති. තමන් ද මල් මාලා ගොතති, අනුන් ලවා ද මල් මාලා ගොතවති. එක් පැත්තකට නටු සිටින සේ මල් මාලා තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති. දෙපැත්තට නටු සිටින සේ මල් මාලා තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති. තමන් ද මල් කැන් සාදති, අනුන් ලවා ද සාදවති. ඉඳිකටු ආදියකින් අමුණන ලද මල් මාලා (විධූතිකා) තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති. හිස මුදුනේ පළඳින මල් කඩ (අවතංසක) තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති. කනේ පළඳින මල් මාලා තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති. පපුවේ පළඳින මල් මාලා තමන් ද සාදති, අනුන් ලවා ද සාදවති.
2. ඔවුහු කුල කාන්තාවන්ට, කුල දියණියන්ට, කුල කුමරියන්ට, කුල ලේලියන්ට, කුල දාසියන්ට එක් පැත්තකට නටු ඇති මල් මාලා තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. දෙපැත්තට නටු ඇති මල් මාලා තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. මල් කැන් තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. ඉඳිකටුවලින් අමුණන ලද මල් මාලා (විධූතිකා) තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. හිස මුදුනේ පළඳින මල් කඩ තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. කනේ පළඳින මල් මාලා තමන් ද ගෙන යති, අනුන් අත ද යවති. පපුවේ පළඳින මල් මාලා තමන් ද ගෙන යති, අනුන් අත ද යවති.
3. ඒ භික්ෂූහු කුල කාන්තාවන් සමඟ ද, කුල දියණියන් සමඟ ද, කුල කුමරියන් සමඟ ද, කුල ලේලියන් සමඟ ද, කුල දාසියන් සමඟ ද එක බඳුනෙහි වළඳති. එක තැටියෙන් ද බොති. එක අසුනෙහි ද හිඳිති. එක ඇඳෙහි ද එකට නිදති. එක ඇතිරිල්ලක් ඇතිව ද එකට නිදති. එක පොරෝනයක් ඇතිව ද එකට නිදති. එක ඇතිරිල්ලක් හා එක පොරෝනයක් ඇතිව ද එකට නිදති. නොකල් වේලාවෙහි ද අනුභව කරති. මත්පැන් ද බොති. මල්, සුවඳ, විලවුන් ද දරති. –
නටති ද. ගයති ද. වාදනය කරති ද. විලාස පාති ද. නටන ස්ත්‍රිය සමඟ ද නටති. නටන ස්ත්‍රිය සමඟ ද ගයති. නටන ස්ත්‍රිය සමඟ ද වාදනය කරති. නටන ස්ත්‍රිය සමඟ ද විලාස පාති. ගයන ස්ත්‍රිය සමඟ ද නටති. ගයන ස්ත්‍රිය සමඟ ද ගයති. ගයන ස්ත්‍රිය සමඟ ද වාදනය කරති. ගයන ස්ත්‍රිය සමඟ ද විලාස පාති. වාදනය කරන ස්ත්‍රිය සමඟ ද නටති. වාදනය කරන ස්ත්‍රිය සමඟ ද ගයති. වාදනය කරන ස්ත්‍රිය සමඟ ද වාදනය කරති. වාදනය කරන ස්ත්‍රිය සමඟ ද විලාස පාති. විලාස පාන ස්ත්‍රිය සමඟ ද නටති. විලාස පාන ස්ත්‍රිය සමඟ ද ගයති. විලාස පාන ස්ත්‍රිය සමඟ ද වාදනය කරති. විලාස පාන ස්ත්‍රිය සමඟ ද විලාස පාති. –
අට කොටු ඇති දාදු පුවරුවෙහි ද දාදු කෙළිති. දස කොටු ඇති දාදු පුවරුවෙහි ද දාදු කෙළිති. අහසේ දාදු පුවරුවක් ඇති සේ සිතා ද දාදු කෙළිති. කට්ටිපෙත්ත ද කෙළිති. සන්තික ක්‍රීඩාව ද කරති. ඛලිකා ක්‍රීඩාව ද කරති. ඝටිකා ක්‍රීඩාව ද කරති. සලාකහත්ථ ක්‍රීඩාව ද කරති. පන්දුවෙන් ද ක්‍රීඩා කරති. කොළ නළා පිඹීමෙන් ද ක්‍රීඩා කරති. කුඩා නඟුලකින් හී සෑමේ ක්‍රීඩාව ද කරති. කරණම් ද ගසති. හුළං පෙති කරකැවීමෙන් ද ක්‍රීඩා කරති. කොළයෙන් සෑදූ නැළියෙන් වැලි ආදිය මැනීමෙන් ද ක්‍රීඩා කරති. කුඩා රථයකින් ද ක්‍රීඩා කරති. කුඩා දුන්නකින් ද ක්‍රීඩා කරති. අහසේ හෝ පිටේ අකුරු ඇඳ කියවීමේ ක්‍රීඩාව ද කරති. සිතූ දේ කීමේ ක්‍රීඩාව ද කරති. අන්ධයන්, කොරුන් ආදීන් මෙන් ඉරියව් පෙන්වීමේ ක්‍රීඩාව ද කරති. ඇතුන් පිළිබඳ ශිල්පය ද පුහුණු වෙති. අසුන් පිළිබඳ ශිල්පය ද පුහුණු වෙති. රථ ශිල්පය ද පුහුණු වෙති. දුනු ශිල්පය ද පුහුණු වෙති. කඩු ශිල්පය ද පුහුණු වෙති. ඇතා ඉදිරියෙන් ද දුවති. අශ්වයා ඉදිරියෙන් ද දුවති. රථය ඉදිරියෙන් ද දුවති. දිවූ තරම් දුර නැවත ද දුව එති. උස් හඬ නගති. අත්පොළසන් දෙති. මල්ලව පොර අල්ලති. මිටින් ද පහර දෙමින් පොර බදිති. රඟමඬල මැද දෙපට සිවුර එළා, නටන ස්ත්‍රියට “නැගණිය, මෙහි නටන්න” යි කියති. ‘හොඳයි, හොඳයි’ යි කියා තම නළලෙහි ඇඟිල්ලක් තබා ඇයගේ නළලෙහි ද ඇඟිල්ල තබති. විවිධ වූ නුසුදුසු දේ ද කරති.
4. ඒ කාලයෙහි එක්තරා භික්ෂුවක් කාසි ජනපදයෙහි වස් වැස පවාරණය කොට, භාග්‍යවතුන් වහන්සේ දකින්නට සැවැත් නුවරට යමින්, කීටාගිරියට පැමිණියේ ය. ඉක්බිති ඒ භික්ෂුව පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා, පාත්‍රය හා සිවුරු ගෙන, (දකින අය) පහදින සේ ඉදිරියට යාමෙන් ද, ආපසු ඒමෙන් ද, ඉදිරිය බැලීමෙන් ද, දෙපස බැලීමෙන් ද, අත් පා හැකිළීමෙන් ද, දිගු කිරීමෙන් ද යුක්තව, පහතට හෙළූ ඇස් ඇතිව, මනා ඉරියව්වලින් යුක්තව කීටාගිරියට පිඬු පිණිස පිවිසියේ ය.