4. පටිසාරණීය කර්මය
1. එකල ආයුෂ්මත් සුධර්ම නම් තෙරුන් මච්ඡිකාසණ්ඩ නම් නුවර චිත්ත නම් ගෘහපතියාගේ ආවාසයෙහි වාසය කරන, නවකම් (අලුත් ගොඩනැගිලි වැඩ) භාරව සිටින, නිතිපතා දානය ලබන භික්ෂුවක් විය. චිත්ත ගෘහපතියා සංඝයාට හෝ ගණයාට (භික්ෂූන් පිරිසකට) හෝ පුද්ගලයෙකුට හෝ දානයට ආරාධනා කරන්නට කැමති වූ කල, ආයුෂ්මත් සුධර්ම තෙරුන්ගෙන් නොවිචාරා සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට හෝ ආරාධනා නොකරයි. (නොකැඳවයි.)
2. එකල බොහෝ ස්ථවිර භික්ෂූන් වහන්සේලා, එනම් ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකච්චාන තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් රේවත තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ ද, ආයුෂ්මත් රාහුල තෙරුන් වහන්සේ ද කසී රට චාරිකාවේ වඩිමින් මච්ඡිකාසණ්ඩ නුවරට වැඩම කළහ.
3. චිත්ත ගෘහපතියා ‘ස්ථවිර භික්ෂූන් වහන්සේලා මච්ඡිකාසණ්ඩ නුවරට වැඩම කළ සේක්ලු’ යි ඇසීය. ඉක්බිති චිත්ත ගෘහපතියා ස්ථවිර භික්ෂූන් වහන්සේලා වෙත පැමිණියේය. පැමිණ උන්වහන්සේලා වැඳ එක් පැත්තක හිඳගත්තේය. එක් පැත්තක හුන් චිත්ත ගෘහපතියාට ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ දහම් කතාවෙන් කරුණු පෙන්වා දුන්හ. කුසල් දහම්හි සමාදන් කෙරෙව්වාහ. උත්සාහවත් කළහ. (කුසල් දහම් වැඩීමෙහි) මනාව සතුටු කළහ. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් වහන්සේ විසින් දහම් කතාවෙන් දෙලොව යහපත පෙන්වා දෙන ලද, කුසල් දහම්හි සමාදන් කරවන ලද, උත්සාහවත් කරන ලද, මනාව සතුටු කරන ලද චිත්ත ගෘහපතියා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට මෙසේ සැල කළේය: “ස්වාමීනි, ස්ථවිරයන් වහන්සේලා හෙට දිනට මාගේ ආගන්තුක දානය ඉවසන (පිළිගන්නා) සේක්වා.” ස්ථවිර භික්ෂූන් වහන්සේලා නිශ්ශබ්දව සිටීමෙන් එය ඉවසූහ.
4. ඉක්බිති චිත්ත ගෘහපතියා ස්ථවිර භික්ෂූන් වහන්සේලා ඉවසූ බව (ආරාධනාව පිළිගත් බව) දැන, අසුනෙන් නැගිට, ස්ථවිර භික්ෂූන් වහන්සේලා වැඳ, පැදකුණු කොට, ආයුෂ්මත් සුධර්ම තෙරුන් වෙත පැමිණ, උන්වහන්සේ වැඳ එක් පැත්තක සිටගත්තේය. එක් පැත්තක සිටි චිත්ත ගෘහපතියා ආයුෂ්මත් සුධර්ම තෙරුන්ට, “ස්වාමීනි, ආර්ය සුධර්මයන් වහන්සේ හෙට දිනට මාගේ දානය ස්ථවිර භික්ෂූන් වහන්සේලා සමග ඉවසන සේක්වා” යි කීය.
5. ඉක්බිති ආයුෂ්මත් සුධර්ම තෙරුන් “මේ චිත්ත ගෘහපතියා පෙර සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට හෝ ආරාධනා කරන්නට කැමති වූ කල, මගෙන් නොවිචාරා සංඝයාට හෝ ගණයාට හෝ පුද්ගලයෙකුට හෝ ආරාධනා නොකළේය. එහෙත් ඔහු දැන් මගෙන් නොවිචාරා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට ආරාධනා කළේය. මේ චිත්ත ගෘහපතියා දැන් මා කෙරෙහි දූෂිත සිත් ඇත්තෙක්, මා ගැන බලාපොරොත්තු නැත්තෙක්, මා කෙරෙහි කලකිරුණු කෙනෙක් වී ඇත” යි සිතීය. සිතා චිත්ත ගෘහපතියාට ‘ගෘහපතිය, එපා, මම නොඉවසමි’ යි කීය. දෙවනුවත් -පෙ- තෙවනුවත් චිත්ත ගෘහපතියා ආයුෂ්මත් සුධර්ම තෙරුන්ට “ස්වාමීනි, ආර්ය සුධර්මයන් වහන්සේ හෙට දිනට මාගේ දානය ස්ථවිර භික්ෂූන් වහන්සේලා සමග ඉවසන සේක්වා” යි කීය. ‘ගෘහපතිය, එපා, මම නොඉවසමි’ යි සුධර්ම තෙරුන් කීය. ඉක්බිති චිත්ත ගෘහපතියා ‘ආර්ය සුධර්මයන් වහන්සේ ඉවසුවත් නොඉවසුවත් මට කුමක් කරන්නද?’ යි සිතා ආයුෂ්මත් සුධර්ම තෙරුන් වැඳ පැදකුණු කොට පිටත්ව ගියේය.
6. ඉක්බිති චිත්ත ගෘහපතියා ඒ රාත්‍රිය ගෙවුණු පසු ස්ථවිර භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රණීත (උසස් රසවත්) කෑ යුතු හා බුදිය යුතු ආහාරපාන පිළියෙල කෙරෙව්වේය. ඉක්බිති ආයුෂ්මත් සුධර්ම තෙරුන් ‘චිත්ත ගෘහපතියා ස්ථවිර භික්ෂූන් වහන්සේලාට පිළියෙල කළ දේ මම බලන්නේ නම් හොඳය’ යි සිතා, පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන චිත්ත ගෘහපතියාගේ නිවස වෙත පැමිණියේය. පැමිණ පනවා තිබූ අසුනෙහි හිඳගත්තේය.