9. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
3748. “මහණෙනි, මේ උද්ධම්භාගීය සංයෝජන පසකි. කවර පසෙක්ද? රූපරාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිද්‍යාව යනුයි මහණෙනි, මේ පස උද්ධම්භාගිය සංයෝජනයෝයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජන දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහකිරීම පිණිස සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ. “කවර සතරක්දයත්, මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි, “විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් සහිත සිත එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය දුරුකිරීමෙන් සිහි ඇතිව මනා නුවණ ඇතිව මධ්‍යස්ථව වාසය කෙරේ. ධ්‍යාන සුවයද කයින් මනාකොට විඳියි. මධ්‍යස්ථව සිහි ඇතිව සුවසේ වාසය කෙරේයයි, ආර්‍ය්‍යයෝ යමක් කියත්ද? ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. සුඛ දුක්ඛයන්ගේ ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙක පහකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛාසතියෙන් පිරිසිදුවූ චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. මහණෙනි, මේ සතර ධ්‍යානයෝයි.” “මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන් දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස ක්ෂයකිරීම පිණිස, පහකිරීම පිණිස මේ සතර ධ්‍යානයෝ වැඩිය යුත්තාහ” යනුයි.
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යොග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඔරුද්ධම්භාගිය යැයි (සූත්‍ර දශයකි).
ඣාන සංයුත්තය නිමි.
එහි වර්ග උද්දානය:
ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, එසනා, ඕඝ යැයි ධ්‍යාන සංයුත්තයේ වර්ග පසක් වෙත්.
10. ආනාපාන සංයුත්තය
1. එකධම්ම වර්ගය
10. 1. 1.
ඒකධම්ම සූත්‍රය
3749. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ එක් ධර්මයක් මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙයි. කවර නම් එක ධර්මයක්ද? ආනාපාන සතියයි. [2] “මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත්ඵල ඇත්තේ මහත් ආනිසංස ඇත්තේ වෙත්ද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ වනයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය. [3] “මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැන ගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. “ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි.