8. 2. 1.
සහස්ස සූත්‍රය
3621. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරති. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් සමග සතුටු වූවාහුය. සතුටු වියයුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක්පසෙක හුන්නෝය. එක්පසෙක හුන් භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ කවර නම් ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියේද?” යනුයි. “ඇවැත්නි, මම සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියෙමි. කවර සතරක්ද යත්, “ඇවැත්නි, මම මේ ශාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. ‘ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා අභිඤ්ඤා ඇති බවට පැමිණියෙමි. ඇවැත්නි මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් චක්‍රවාල දහසක් සිහි කරන්නෙමියි” කීහ.
8. 2. 2.
ඉද්ධිවිධ සූත්‍රය
3622. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් නොයෙක් ඉද්ධි අනුභව කරමි. එකෙක්ව බොහෝ දෙනෙක් වෙමි. බොහෝ දෙනෙක්ව එකෙක් වෙමි. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් පිටතට පවුරෙන් පිටතට පර්වතයෙන් පිටතට නොගැටී යන්නෙමි. ජලයෙහි මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් ජලයෙහිද දිය නොබිඳිමින් යමි. පක්ෂියෙකු මෙන් අහසෙහි පර්‍ය්‍යංකයෙන් හිඳ ගෙනම යමි. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කරමි. පිරිමදිමි. බඹලොව දක්වා කයින් වසඟයෙහි පවත්වමි” කීය.
8. 2. 3.
දිබ්බසෝත සූත්‍රය
3623. “ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මිනිස් බව ඉක්මවූ පිරිසිදුවූ දිව්‍ය ශ්‍රෝත්‍ර ධාතුවෙන් දිව්‍යවූද මනුෂ්‍යවූද දුරවූද ළඟවූද දෙවදෑරුම් ශබ්දයන්ම අසන්නෙමි.”
8. 2. 4.
චේතෝපරිය සූත්‍රය
3624. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් අන් සත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත් සිතින් සිත පිරිසිඳ දැනගතිමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගතිමි. පහවූ රාග ඇති සිත පහවූ රාග ඇති සිතයයි දැන ගතිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගතිමි. දොස සහිත සිත දොස සහිත සිතයයි දැනගතිමි. දොස රහිත සිත දොස රහිත සිතයයි දැනගතිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දැනගතිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දැන ගතිමි. හැකුලුන සිත හැකුලුන සිතයයි දැනගතිමි. විසිර ගිය සිත විසිර ගිය සිතයයි දැනගතිමි. මහග්ගත සිත මහග්ගත සිත යයි දැනගතිමි. මහග්ගත නොවූ සිත මහග්ගත නොවූ සිත යයි දැනගතිමි. උසස් සිත උසස් සිතයයි දැනගතිමි. උසස් නොවූ සිත උසස් නොවූ සිතයයි දැනගතිමි. සමාහිත නොවූ සිත සමාහිත නොවූ සිතයයි දැනගතිමි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගතිමි. නොමිදුනු සිත නොමිදුනු සිතයයි දැන ගතිමි. මිදුනු සිත මිදුනු සිතයයි දැනගතිමියි” කීය.
8. 2. 5.
ඨාන සූත්‍රය
3625. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හේතූන් හේතූන් වශයෙනුත් හේතු නොවන කරුණු හේතු නොවන කරුණු වශයෙනුත් තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 6.
කම්ම සූත්‍රය
3626. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අතීත අනාගත වර්තමාන කර්මයන්ගේ හේතුවට කාරණයට අනුකූල විපාක තත්වූ පරිද්දෙන් දන්නෙමියි” කීය.
8. 2. 7.
සබ්බත්‍ථ සූත්‍රය
3627. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සියලු තැන්වලට පැමිණෙන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 8.
අනේකධාතු සූත්‍රය
3628. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් අනේකධාතු නානාධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.
8. 2. 9.
නානාධිමුත්තික සූත්‍රය
3629. “ඇවැත්නි, මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් සත්වයන්ගේ නොයෙක් අදහස් තත්වූ පරිද්දෙන් දන්නෙමි” යනුයි.