8. 1. 2.
2. දුතිය රහෝගත සූත්‍රය
900. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වාසය කරයි. එකල්හි රහසිගතව විවේකයෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන්ට මෙබඳු අදහසක් ඇතිවිය. ‘යම්කිසි කෙනකුන් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ නොකරන ලද්දාහුද ඔවුන් විසින් මනා කොට දුක් නැති කරන ආර්‍ය්‍ය මාර්ගය සම්පූර්ණ නොකරන ලද්දේය. යම් කිසිවකු විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන ආර්‍ය්‍යමාර්ගය සම්පූර්ණ කරන ලද්දේය’ කියායි. එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ අදහස තමන්ගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් වක්කළ අතක් දික්කරන්නේද, දික්කළ අතක් වක්කරන්නේද එපරිද්දෙන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ. “ඇවැත් අනුරුද්ධයෙනි, කොපමණකින් භික්ෂුවක් විසින් සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහු වෙත්ද?” යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරු කොට තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ කයෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ කයෙහිද අනුන්ගේ කයෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි’ කැමති වේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වේද, ‘එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල්ද පිළිකුල්ද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද, “මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ වේදනාවෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ වේදනාවෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ වේදනාවෙහිද අනුන්ගේ වේදනාවෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, “එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසයකරයිද, ඉදින් ‘නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද, “මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ සිතෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ සිතෙහි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ සිතෙහි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ සිතෙහි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, ‘කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ සිතෙහිද අනුන්ගේ සිතෙහිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසයකරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, “එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහි ඇතිව මනා නුවණ ඇතිව වාසය කරයිද, “මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට අනුන්ගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ ධර්මයන්හි විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, අනුන්ගේ ධර්මයන්හි ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද ඉපදීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද විනාශවීම් ස්වභාවය නැවත නැවත බලමින් වාසය කෙරේද, තමාගේ ධර්මයන්හිද අනුන්ගේ ධර්මයන්හිද ඉපදීම් ස්වභාවයත් විනාශවීම් ස්වභාවයත් නැවත නැවත බලමින් වාසය කෙරේද, “හෙතෙම ඉදින් ‘නොපිළිකුල් දෙයෙහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් පිළිකුල් දෙයෙහි නොපිළිකුල්ය යන හැඟීමෙන් යුක්තව වාසය කරන්නෙමියි’ කැමතිවෙයිද, “එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘නොපිළිකුල් දෙයෙහිද පිළිකුල් දෙයෙහිද පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමතිවේද, එහි පිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් ‘පිළිකුල් දෙයෙහිද නොපිළිකුල් දෙයෙහිද නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරන්නෙමියි’ කැමති වෙයිද, එහි නොපිළිකුල්ය යන හැඟීමෙන් වාසය කරයිද, ඉදින් නොපිළිකුලද පිළිකුලද යන දෙක මනාකොට ඉක්මවා මධ්‍යස්ථව සිහි ඇතිව යහපත් නුවණ ඇතිව වාසයකරන්නෙමියි’ කැමතිවේද, එහි මධ්‍යස්ථව සිහිඇතිව මනා නුවණ ඇතිව වාසය කරයි. “ඇවැත්නි, මෙපමණකින් වනාහි භික්ෂුවගේ සතර සතිපට්ඨානයෝ සම්පූර්ණ කරන ලද්දාහුයයි” කීය.
8. 1. 3.
3. සුතනු සූත්‍රය
901. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ සැවැත් නුවර සුතනු ගංඉවුරෙහි වාසය කරයි. එකල්හි බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ යම් තැනෙක්හිද එතැනට පැමිණියාහුය. පැමිණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් සමග සතුටු වූවාහුය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට මෙය කීවාහුය. “ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙමේ කවර නම් ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියේද?”
“ආයුෂ්මත්නි, මම වනාහි සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. කවර සතරක්දයත්? ‘ඇවැත්නි, මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙළෙමි. මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. මම මේ සාසනයෙහි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙළෙමි. කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ස්කන්ධ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද දුරුකොට ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙළෙමි. “ඇවැත්නි, මම වනාහි මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහත් අභිඥා ඇති බවට පැමිණියෙමි. ඇවැත්නි මම මේ සතර සතිපට්ඨානයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් හීන ධර්ම හීන වශයෙන් මනාකොට දැනගත්තෙමි. මධ්‍යම ධර්ම මධ්‍යම වශයෙන් දැනගත්තෙමි. ප්‍රණීත ධර්ම ප්‍රණීත වශයෙන් දැන ගත්තෙමියි” කීය.