7. 3. 9.
9. සම්බහුලභික්ඛු සූත්‍රය
841. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය කීවාහුය. ස්වාමීනි, ඉද්ධි යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද?” කියායි. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයි කියනු ලැබේ. (මේ ඡේද මේ වර්ගයේ 7 වෙනි සූත්‍රයේ 4, 5, 6 වෙනි ඡේද මෙන් වේ.)
7. 3. 10.
10. දුතියසම්බහුලභික්ඛු සූත්‍රය
842. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, ඉද්ධිය යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරේද?” යනුයි. “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“මහණෙනි, ඉද්ධිය කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් ගිලීම් මතුවීම් පොළොවෙහි කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදය කවරේද? මහණෙනි, ඉද්ධිය ලැබීම පිණිස, ඉද්ධිය වැඩීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් පවතියිද, මහණෙනි, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීම කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගයමැයි. ඒ කවරේදයත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් කල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”
7. 3. 11.
11. මොග්ගල්ලාන සූත්‍රය
843. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. [2] ‘මහණෙනි, ඒ කුමකැයි සිතව්ද, කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂු තෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වෙයිද? [3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.” [4] “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තෙක් මහත් ආනුභාව ඇත්තෙක් වෙයි. [5] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මොග්ගල්ලාන භික්ෂුව ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. රහත්වීමට පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවැසූ විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. [6] “වීර්‍ය්‍යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන් රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි. [7] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. [8] “වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.