7. 3. 10.
10. දුතියසම්බහුලභික්ඛු සූත්රය
842. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ ඒ භික්ෂූන්ට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහණෙනි, ඉද්ධිය යනු කවරේද? ඉද්ධිපාදය කවරේද? ඉද්ධිපාද වැඩීම කවරේද? ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්රතිපදාව කවරේද?” යනුයි. “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.”
“මහණෙනි, ඉද්ධිය කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් ගිලීම් මතුවීම් පොළොවෙහි කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්ය්යංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මේ ඉද්ධියයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදය කවරේද? මහණෙනි, ඉද්ධිය ලැබීම පිණිස, ඉද්ධිය වැඩීම පිණිස යම් මාර්ගයක් යම් ප්රතිපදාවක් පවතියිද, මහණෙනි, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීම කවරේද? මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්රතිපදාව කවරීද? මේ ආර්ය්ය අෂ්ඨාංගික මාර්ගයමැයි. ඒ කවරේදයත්? සම්යක් දෘෂ්ටිය, සම්යක් කල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ව්යායාමය, සම්යක් ආජීවය, සම්යක් සතිය, සම්යක් සමාධිය යනුයි. මහණෙනි, මේ ඉද්ධිපාදයන්ගේ වැඩීමට පැමිණෙන ප්රතිපදාවයයි කියනු ලැබේ.”
7. 3. 11.
11. මොග්ගල්ලාන සූත්රය
843. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි,’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. [2] ‘මහණෙනි, ඒ කුමකැයි සිතව්ද, කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂු තෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වෙයිද? [3] “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.” [4] “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තෙක් මහත් ආනුභාව ඇත්තෙක් වෙයි. [5] “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මොග්ගල්ලාන භික්ෂුව ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. රහත්වීමට පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද උඩ මෙන් යටද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවැසූ විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. [6] “වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්ය්යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන්ම පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන්ම යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන් රෑත් රෑ මෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිතක් වඩයි. [7] “චිත්තය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිර ගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටිකයද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. [8] “වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
[9] “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්රකට බවට මුවග බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද, පර්ය්යංකයෙන් හිඳගෙන මහත් ඉද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි. [10] “මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්රවයන් නැති කිරීමෙන් ආශ්රව රහිත වූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මභාවයෙහි තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.
7. 3. 12.
12. තථාගත සූත්රය
844. (මේ ඡේදය මේ වර්ගයේ 11 සූත්රයේ 1 ඡේදය මෙනි) “මහණෙනි, එය කුමකැයි සිතව්ද? කවර ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතතෙම මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේද? “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.” “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙම මෙසේ මහත් ඉර්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ. “කවර සතරක්ද යත්? මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩන්නේය. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිර ගියේත් නොවන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, ශරීරයෙහි යට මෙන් උඩද, උඩ මෙන් යටද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. “වීර්ය්යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීර්ය්යය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත විසිරගියේත් නොවන්නේය. පෙර පසු දෙක්හිම එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවත් පසුව මෙන්ම පෙරත් ශරීරයෙහි උඩ මෙන් යටත් යට මෙන්ම උඩත්, දවල් මෙන්ම රෑත් රෑමෙන් දවල්හිත්, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ විවෘතවූ නොවැසූ සිතින් බැබලීම් සහිත සිත වඩයි. “චිත්තය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ සිත ඉතා හැකුළුණේද නොවන්නේය. ඉතා එසවුණේද නොවන්නේය. ඇතුළත හැකුළුණේද නොවන්නේය. පිටත්හි විසිරගියේද නොවන්නේය. පෙර හා පසුව එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටිකය මෙන් උඩු කයද උඩු කය මෙන් යටි කයද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩයි. “විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. ඇතුළත හැකුළුණේත් නොවන්නේය. පිටත්හි විසිර ගියේත් නොවන්නේය. පෙර පසු සමාන හැඟීම් ඇතිව වාසය කරයි.
පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩුකයෙහිද, උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි.
මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කරන ලද බැවින් නොයෙක් ඉර්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක් කෙනෙක් ද වේ. ප්රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද, පර්ය්යංකයෙන් හිඳගෙන මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි. “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ ආශ්රවයන් නැති කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”
(ෂඞ්අභිඥාවන්ට මෙසේ විස්තර කළ යුතුයි)
තුන්වෙනි අයොගුළ වර්ගය නිමි.
එහි මාතෘකා:
මග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධික හා ඵල සූත්ර දෙක ද, ආනන්ද සූත්ර දෙකක් හා සම්බහුල භික්ඛු සූත්ර දෙකක් ද, එකොළොස් වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වැන්න තථාගත යයි.