7. 3. 11.
11. මොග්ගල්ලාන සූත්‍රය
3153. “මහණෙනි, ඒ කුමක් යයි සිතන්නහු ද? කවර ධර්මයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙබඳු මහත් ඉද්ධි ඇත්තෙක්, මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක් වේ ද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-” “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙබඳු මහත් ඉද්ධි ඇත්තෙක්, මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක් වෙයි. කවර සතරක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි මොග්ගල්ලාන භික්ෂුව ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. ‘මෙසේ මාගේ ඡන්දය ඉතා හැකුළුණේ ද නොවන්නේය’ -පෙ- බැබළීම් සහිත සිත වඩයි. වීර්‍ය්‍ය සමාධි -පෙ- චිත්ත සමාධි -පෙ- වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. ‘මෙසේ මාගේ වීමංසාව ඉතා හැකුළුණේ ද නොවන්නේය, ඉතා එසවුණේ ද නොවන්නේය’ -පෙ- මෙසේ විවෘත වූ, නොවැසුණු සිතින් බැබළීම් සහිත සිත වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙබඳු මහත් ඉද්ධි ඇත්තෙක්, මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක් වෙයි.”
[9] “මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවග බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි. [10] “මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මභාවයෙහි තෙමේ විශේෂ නුවණින් ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කරන්නේයයි” වදාළේය.
7. 3. 12.
12. තථාගත සූත්‍රය
3154. “මහණෙනි, ඒ කුමක් යයි සිතන්නහු ද? කවර ධර්මයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතයන් වහන්සේ මෙබඳු මහත් ඉද්ධි ඇත්තෙක්, මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක් වේ ද?” “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ -පෙ-” “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින්, බහුල වශයෙන් වැඩූ බැවින් තථාගතයන් වහන්සේ මෙබඳු මහත් ඉද්ධි ඇත්තෙක්, මෙබඳු මහත් ආනුභාව ඇත්තෙක් වෙයි. කවර සතරක් ද යත්: මහණෙනි, මේ ශාසනයෙහි තථාගතයන් වහන්සේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. ‘මෙසේ මාගේ ඡන්දය ඉතා හැකුළුණේ ද නොවන්නේය, ඉතා එසවුණේ ද නොවන්නේය’ -පෙ- මෙසේ විවෘත වූ, නොවැසුණු සිතින් බැබළීම් සහිත සිත වඩයි. වීර්‍ය්‍ය සමාධි -පෙ- චිත්ත සමාධි -පෙ- වීමංසාව අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. ‘මෙසේ මාගේ වීමංසාව ඉතා හැකුළුණේ ද නොවන්නේය, ඉතා එසවුණේ ද නොවන්නේය, ඇතුළත හැකුළුණේ ද නොවන්නේය, පිටත විසිරුණේ ද නොවන්නේය’ (යි සිතා) පසුව හා පෙර සමාන හැඟීම් ඇත්තේ ද වාසය කරයි.
පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩුකයෙහිද, උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද, රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය’ කියායි.
මෙසේ නොවසන ලද විවෘත වූ සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ මෙසේ මහත් ඉද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල කරන ලද බැවින් නොයෙක් ඉර්ධි කොටස් අනුභව කරයි. එක් කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක් කෙනෙක් ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද, පර්‍ය්‍යංකයෙන් හිඳගෙන මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි. “මහණෙනි, සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් තථාගත තෙමේ ආශ්‍රවයන් නැති කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශේෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”
(ෂඞ්අභිඥාවන්ට මෙසේ විස්තර කළ යුතුයි)
තුන්වෙනි අයොගුළ වර්ගය නිමි.
එහි සූත්‍ර නාමාවලිය:
මග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධික යන සූත්‍ර ද, ඵල සූත්‍ර දෙක ද, ආනන්ද නමින් කියන ලද සූත්‍ර දෙක ද, සම්බහුල භික්ඛු සූත්‍ර දෙක ද, එකොළොස් වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වැන්න තථාගත ය.