7. 2. 9.
භාවනා සූත්රය
831. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි) “මහණෙනි, නුඹලාට ඉද්ධියත් ඉද්ධිපාදයත්, ඉද්ධිපාදයන් වැඩීමත් ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාවත් කියන්නෙමි. එය අසව්. “මහණෙනි, ඉද්ධිය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ නොයෙක් ඉද්ධි අනුභව කරයි. එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් වීය. අහසෙහි යම්සේද එසේ ප්රකටවීම මුවහවීම බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යන්නාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්ය්යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. මහණෙනි, මෙය ඉද්ධියයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදය නම් කුමක්ද? මහණෙනි යම් මාර්ගයක් යම් ප්රතිපදාවක් ඉද්ධිය ලැබීම පිණිස පවතියිද, මහණෙනි, එය ඉද්ධිපාදයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමනම් කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපති කොට ඇති සමාධිය හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ ඉද්ධිපාදයන් වැඩීමයයි කියනු ලැබේ. “මහණෙනි, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාව නම් කවරේද? ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේදයත් සම්යක් දෘෂ්ටිය, සම්යක් කල්පනාව, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් සතිය, සම්යක් සමාධිය යනුයි. මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩීමට පැමිණෙන ප්රතිපදාවයයි කියනු ලැබේ.
7. 2. 10.
විභංග සූත්රය
832. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි.) “මහණෙනි, වඩන ලද බහුල කරනලද මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහත් ආනිශංසය ඇත්තාහු වෙත්. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු මහානිසංසය ඇත්තාහු වෙත්ද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ ඡන්දය අතිශයින් හැකුලුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධානවීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ විරිය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුනේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ සිත අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණක් මෙන් නොවන්නේය. පිටත විසිරිගියේ නොවන්නේය,’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “වීමංසයන් අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්යාත්මයෙහි හැකුලුනේ නොවන්නේ පිට විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි.
පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද
මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් කුසීත බව සමග එක්වූයේ වේද? කුසීත බව සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණාවූ ඡන්දයයි කියනු ලැබේ. “මහණෙනි, ඉතා එසවුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් උද්ධච්චය හා එක්වූයේවේද, උද්ධච්චය සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා එසවුණු ඡන්දය යයි කියනු ලැබේ. “මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් ථීනමිද්ධය හා එක්වූයේ වේද, ථීනමිද්ධයෙන් යුක්තවූයේද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු ඡන්දයයි කියනු ලැබේ. “මහණෙනි, පිටත්හි විසිරගිය ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් පඤ්චකාම ගුණයන් අරබයා පිටත්හි වික්ෂිප්තවූයේ වෙයිද, විසිරගියේ වෙයිද, මහණෙනි, මෙය පිටත්හි විසිරගිය ඡන්දයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ කෙසේනම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.