7. 2. 10.
විභංග සූත්රය
832. (මේ ඡේදය මේ වර්ගයේ 1 සූත්රයේ 1 ඡේදය මෙනි.) “මහණෙනි, වඩන ලද බහුල කරනලද මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහත් ආනිශංසය ඇත්තාහු වෙත්. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ සතර ඉද්ධිපාදයෝ මහත් ඵල ඇත්තාහු මහානිසංසය ඇත්තාහු වෙත්ද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ ඡන්දය අතිශයින් හැකුලුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධානවීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ විරිය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුනේ නොවන්නේය. පිටත විසිරගියේ නොවන්නේය’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. කෙසේද? ‘මෙසේ මාගේ සිත අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. ඇතුළත හැකුළුණක් මෙන් නොවන්නේය. පිටත විසිරිගියේ නොවන්නේය,’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි. පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයිද, “වීමංසයන් අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි, කෙසේද? ‘මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්යාත්මයෙහි හැකුලුනේ නොවන්නේ පිට විසිරගියේ නොවන්නේය.’ පෙර පසු එක හා සමාන සංඥා ඇතිව වාසය කරයි.
පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද
මෙසේ විවෘතවූ නොවැසුනු සිතින් බැබලීම් සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් කුසීත බව සමග එක්වූයේ වේද? කුසීත බව සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණාවූ ඡන්දයයි කියනු ලැබේ. “මහණෙනි, ඉතා එසවුණාවූ ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් උද්ධච්චය හා එක්වූයේවේද, උද්ධච්චය සමග යෙදුණේ වේද, මහණෙනි, මෙය ඉතා එසවුණු ඡන්දය යයි කියනු ලැබේ. “මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් ථීනමිද්ධය හා එක්වූයේ වේද, ථීනමිද්ධයෙන් යුක්තවූයේද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු ඡන්දයයි කියනු ලැබේ. “මහණෙනි, පිටත්හි විසිරගිය ඡන්දය නම් කවරේද? මහණෙනි, යම් ඡන්දයක් පඤ්චකාම ගුණයන් අරබයා පිටත්හි වික්ෂිප්තවූයේ වෙයිද, විසිරගියේ වෙයිද, මහණෙනි, මෙය පිටත්හි විසිරගිය ඡන්දයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ කෙසේනම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් යටි කයෙහි මෙන් උඩු කයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල්, කඳුලු, වුරුණුතෙල්, කෙල, සොටු, සෑමිදුළු, මුත්ර, ඇත්තේයයි පාතලයෙන් උඩද, කේසාන්තයෙන් යටද, සමින් වටවූද මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද, සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේ නම් දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්රියෙහිද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. රාත්රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි.
“මහණෙනි, මහණතෙම කෙසේනම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුණාවූ විවෘතවූ සිතින් ආලෝක සහිත සිත වඩයි.
“මහණෙනි, ඉතා හැකුළුණාවූ වීර්ය්යය කවරේද? මහණෙනි, යම් වීර්ය්යයක් කුසීත බව හා එක්වූයේද, කුසීත බව හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා හැකුළුණු වීර්ය්යයයි කියනු ලැබේ. “මහණෙනි, ඉතා ඔසවන ලද වීර්ය්ය කවරේද? මහණෙනි, යම් වීර්ය්යයක් උද්ධච්චය හා එක්වූයේද, උද්ධච්චය හා යෙදුණේද, මහණෙනි, මෙය ඉතා එසවුණු වීර්ය්යයයි කියනු ලැබේ. “මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්ය්යය කවරේද? මහණෙනි, යම් වීර්ය්යයක් ථීනමිද්ධය හා එක්වූයේද ථීනමිද්ධයෙන් යුක්තද, මහණෙනි, මෙය ඇතුළත හැකුළුණු වීර්ය්යයයි කියනු ලැබේ. “මහණෙනි, පිටත්හි විසිරගිය වීර්ය්යය කවරේද? මහණෙනි, යම් වීර්ය්යයක් බාහිර පඤ්චකාම ගුණයන් අරබයා වික්ෂිප්තවූයේද විසිරගියේ වේද, මහණෙනි, මේ පිටත්හි විසිර ගිය වීර්ය්යයයි කියනු ලැබේ. “මහණෙනි, මහණතෙමේ කෙසේ නම් පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද මෙසේ පෙර පසු දෙක්හි සමාන හැඟීම් ඇතිව වාසය කරයිද, මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් රහත්වීමට පසුවද පෙරද සඤ්ඤාව නුවණින් මනාකොට ගන්නා ලද්දේද, මනාකොට මෙනෙහි කරන ලද්දේද, මනාකොට දරන ලද්දේද, මනාකොට අවබෝධ කරන ලද්දේද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම පෙර මෙන් පසුවද, පසුව මෙන් පෙරද පෙර පසු දෙක්හි සමාන සංඥාව ඇතිව වාසය කරයි. “මහණෙනි, මහණතෙම කෙසේ නම් යටිකයෙහි මෙන් උඩුකයෙහිද, උඩුකයෙහි මෙන් යටිකයෙහිද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම මේ සිරුරෙහි කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, කුඩා බඩවැල, නොපැසුණු ආහාර, මල, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේද තෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිඳුළු, මුත්ර ඇත්තේය. පාතලයෙන් උඩද, කේසාන්තයෙන් යටද සමින් වටවූද, මේ ශරීරය නොයෙක් අසුචියෙන් පිරුණේයයි නුවණින් මෙනෙහි කරයිද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙම යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩුකයෙහි මෙන් යටි කයෙහිද සමානව වාසය කරයි. “මහණෙනි, මහණතෙම කෙසේනම් දවල් මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයිද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් දවල් කාලයෙහි විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් රාත්රියෙහිද විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. රාත්රියෙහි යම් ආකාරයකින් යම් සටහණකින් යම් නිමිත්තකින් විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, හෙතෙම ඒ ආකාරයෙන් ඒ සටහණින් ඒ නිමිත්තෙන් දවල්ද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මහණතෙම මෙසේ වනාහි දවල්මෙන් රෑද රෑමෙන් දවල්ද සමානව වාසය කරයි. “මහණෙනි, මහණතෙම කෙසේ නම් නොවසන ලද විවෘතවූ සිතින් බැබලීම් සහිත සිත වඩයිද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව විසින් ආලෝක සඤ්ඤාව මනාකොට ගන්නා ලද්දේ වෙයිද, දවල්ය යන හැඟීම මනාකොට ඉවත ලද්දේ වෙයිද, මහණෙනි, මහණතෙම මෙසේ වනාහි නොවැසුනාවූ විවෘතවූ සිතින් ආලෝකය සහිත සිත වඩයි.