7. 2. 2.
මහප්ඵල සූත්රය
3134. මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු වෙත්. මහානිසංස ඇත්තාහු වෙත්. මේ සතර ඍද්ධිපාදයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු, මහත්ඵල මහානිසංස ඇත්තාහු වෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ‘මේ ආකාරයෙන් මගේ ඡන්දය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය:
පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද.
මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේය.
මේ ආකාරයෙන් මගේ වීර්ය්යය ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය: පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ වීර්ය්යය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේද, මේ ආකාරයෙන් මගේ සිත ඉතා හැකුළුණේ නොවන්නේය. ඉතා එසවුණේ නොවන්නේය. අධ්යාත්මයෙහි හැකිලුනේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය: පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, සමාන හැඟීම් ඇතිව වාසය කරන්නේය. මෙසේ විවෘතවූ සිතින් නොවැසුණාවූ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුක්තවූ ඍද්ධිපාදය වඩන්නේද, මේ ආකාරයෙන් මාගේ විමංසය ඉතා හැකුළුණේත් නොවන්නේය. ඉතා එසවුණේත් නොවන්නේය. අධ්යාත්මයෙහි හැකිළුණේ නොවන්නේය. පිටත විසිර ගියේ නොවන්නේය. පෙර පසු එක හා සමාන හැඟීම් ඇතිව වාසය කරයි:
පෙර මෙන් පසුවද පසුව මෙන් පෙරද, යටි කයෙහි මෙන් උඩු කයෙහිද උඩු කයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද.
මෙසේ විවෘතවූ නොවැසුන සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි’ වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්යක් ප්රධාන වීර්ය්යයෙන් යුත් ඍද්ධිපාදය වඩයිද. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයෝ මහත්ඵල ඇත්තාහු මහානිසංස ඇත්තාහු වෙත්.
මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයන් ඇතිකල්හි නොයෙක් ආකාර ඍද්ධි කොටස් වළඳයි: එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත්. බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහි යේද පර්ය්යංකයෙන් හිඳගෙන මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙන පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්රහ්ම ලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතර ඍද්ධිපාදයන් ඇති කල්හි ආශ්රවයන් ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ඊට පැමිණ වාසය කරයි.
7. 2. 3.
ඡන්ද සූත්රය
3135. මහණෙනි, මහණතෙමේ ඉදින් ඡන්දය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය ඡන්ද සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්ය්ය පටන් ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්ය්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්ය්ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද, මේ ප්රධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්දය වෙයි, මේ ඡන්දසමාධිය වෙයි. මොව්හු ප්රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ ඉදින් වීර්ය්යය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීර්ය්ය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහ කරයිද, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත්බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්ය්ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද මේ ප්රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්ය්යයවෙයි. මේ වීර්ය්ය සමාධියවෙයි මොව්හු ප්රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීර්ය්යසමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.