7. 2. 3.
ඡන්ද සූත්‍රය
3135. මහණෙනි, මහණතෙමේ ඉදින් ඡන්දය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය ඡන්ද සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්දය වෙයි, මේ ඡන්දසමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ ඉදින් වීර්‍ය්‍යය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීර්‍ය්‍ය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහ කරයිද, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත්බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්‍ය්‍යයවෙයි. මේ වීර්‍ය්‍ය සමාධියවෙයි මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීර්‍ය්‍යසමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ ඉදින් සිත නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය සිත සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනීද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝබව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්. මෙසේ මේ සිත වෙයි මේ සිත සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ සිත සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
මහණෙනි, මහණතෙමේ ඉදින් වීමංසය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීමංසය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහකරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසලධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහකරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්. මෙසේ මේ වීමංසය වෙයි. මේ වීමංසය සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීමංසය සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
7. 2. 4.
මොග්ගල්ලාන සූත්‍රය
3136. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මිගාර මාතු පාය නම්වූ පූර්වාරාමයෙහි වැඩ සිටිසේක. එකල්හි බොහෝ භික්ෂූහු මිගාරමාතු පහය තුල ඔසවාගත් හිස් මානය ඇතිව පාත්‍ර සිවුරු සැරසීම් ආදි චපලගති ඇතිව කෲර වචන ඇතිව නිරර්ථක වචන කියමින් සිහි මුළාව නුවණින් තොරව සමාධියෙන් තොරව තැතිගත් සිත් ඇතිව නොදැමුනු ඉඳුරන් ඇතිව වාසය කරත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් ඇමතූසේක. “මොග්ගල්ලානය මේ සබ්බ්‍රහ්මචාරීහු මිගාරමාතු පහය යට හිස් මානයෙන් යුක්තව චපලව කෲර වචන ඇතිව හිස් වචන කියමින් සිහියෙන් තොරව සමාධියෙන් තොරව නුවණින් තොරව නොදැමුණු ඉඳුරන් ඇතිව වාසයකරත්. ‘මොග්ගල්ලානය, යව. ඒ භික්ෂූන් සංවේගයට පත්කරව’යයි වදාළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම්සේ පා සුලඟිල්ලෙන් මිගාරමාතු පහය සෙලවීද මනාකොට කම්පා කෙළේද මනාකොට සෙලවීද, එබඳු ඍද්ධිවිධියක් කළහ. ඉක්බිති ඒ භික්ෂූහු සංවේගයට පැමිණියාහු ලොමුඩැහැ ගත්තාහු එක්පසෙක හුන්නාහුය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයකි. වාතයක්ද නැත. මේ මිගාරමාතු පහය ගැඹුරු පොළොවෙහි පිහිටියේය. මනාව පිහිටුවා ඇත්තේය. නොසෙල් වෙන්නේය. කම්පා නොවන්නේය. එසේද වුවත් සෙලවුණි කම්පාවිණියි” කීහ.