7. 1. 2.
විරද්ධ සූත්‍රය
“මහණෙනි, යම්කිසිවෙකුන් විසින් සතරඉද්ධිපාද වැඩීමට ආරම්භ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට ආරම්භ නොකරනලදී. මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට ආරම්භ කරන ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය පටන්ගන්නා ලදහ.
“කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “වීර්‍ය්‍ය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි. “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධි පාදය වඩයි. “විමසීම අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, යම්කිසිවෙකුන් විසින් සතරඉද්ධිපාද වැඩීමට ආරම්භ නොකරන ලද්දාහුද, ඔවුන් විසින් මනාකොට දුක් නැතිකරන්නාවූ ආර්‍ය්‍ය මාර්ගය වැඩීමට ආරම්භ නොකරනලදී. “මහණෙනි, යම්කිසිවකුන් විසින් සතර ඉද්ධිපාදයෝ වැඩීමට පටන්ගන්නා ලද්දාහුද ඔවුන් විසින් මනාකොට දුක් නැති කරන්නාවූ ආර්‍ය්‍යමාර්ගය වැඩීමට පටන්ගන්නා ලද්දේය.”
7. 1. 3.
අරිය සූත්‍රය
815. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්. “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙමේ ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුතු ඉද්ධිපාදය වඩයි. “විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරන ලද්දාවූ ආර්‍ය්‍යවූ නෛර්‍ය්‍යාණිකවූ මේ සතර ඉද්ධිපාදයෝ එය සම්පූර්ණ කරන්නහු මනාකොට දුක් ක්ෂය කිරීමට පමුණුවත්”
7. 1. 4.
නිබ්බිදා සූත්‍රය
816. “මහණෙනි, වඩනලද්දාවූ බහුලකරනලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නො ඇලීම පිණිස දුක් නිරුද්ධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනාකොට අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්. “කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක්ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. “විමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ සතර ඉද්ධිපාදයෝ ඒකාන්තයෙන් කලකිරීම පිණිස නොඇලීම පිණිස දුක් නිරෝධ කිරීම පිණිස සංසිඳීම පිණිස විශේෂයෙන් දැනීම පිණිස මනා අවබෝධය පිණිස නිවීම පිණිස පවතිත්.”