5. ඕඝ වර්ගය
6. 5. 1-39.
ඕඝ ආදී සූත්‍ර
2741-2779. මහණෙනි, මේ ඕඝ සතරකි. කවර සතරක් ද යත්: කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය යි ... වැඩිය යුත්තාහ.
6. 5. 40.
උද්ධම්භාගිය සූත්‍රය
2780. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමිනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. කවර පසෙක්ද? රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය, අවිජ්ජාවය යනුයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝය. මේ පඤ්ච උද්ධම්භාගීය සංයෝජනයන්ගේ විශේෂයෙන් දැනගැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස පහ කිරීම පිණිස පඤ්ච බලයන් වැඩිය යුතුයි. කවර පසක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සද්ධාබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ, නිවනට නැමුණු විරිය බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සතිබලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ නිවනට නැමුණු සමාධි බලය වඩයි. නිවන් ඇසුරුකළ, විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ, නිවනට නැමුණු පඤ්ඤා බලය වඩයි. මහණෙනි, මේ පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයන්ගේ දැනගැනීම පිණිස පිරිසිඳ දැනගැනීම පිණිස ක්ෂයකිරීම පිණිස පහකිරීම පිණිස මේ පඤ්ච බලයන් වැඩිය යුතුය.
ඕඝවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යනුයි.
6. පුනගංගාපෙය්‍යාල වර්ගය
6. 6. 1-36.
පාචීනනින්න ආදී සූත්‍ර
2781-2816. මහණෙනි, යම් සේ ගංගා නදිය නැගෙනහිරට නැමී ඇත්තේ ද ... නිවනට බර වූයේ වෙයි.
(රාග විනය පර්‍ය්‍යවසාන ආදි වශයෙන් ද අමතොගධ ආදි වශයෙන් ද නිබ්බානනින්න ආදි වශයෙන් ද එක් එක් තැන තුන තුන බැගින් කොට සූත්‍ර තිස් හයක් විස්තර කටයුතුයි.)
පුනගංගාපෙය්‍යාල වර්ගයයි.
එහි උද්දානය:
නැගෙනහිරට නැඹුරු සයක් ද, මුහුදට නැඹුරු සයක් දැයි මෙසේ මේ දොළොසක් වෙත්. එහෙයින් වර්ගය යැයි කියනු ලැබේ.