4. 6. 4.
හත්ථිපදොපම සූත්‍රය
1738. “මහණෙනි, යම්සේ හැවිදින්නාවූ සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියලු පියවර ඇත් පියවරෙහි ඇතුළත් බවට යෙත්. ඔවුන් අතුරෙන් මහත් බැවින් ඇත් පියවර අග්‍රවෙයි. “මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත්ද, අවබෝධ කිරීම අතින් ඔවුන් අතුරෙන් පඤ්ඤා පදය අග්‍රවේ. මහණෙනි, කවර පද කෙනෙක් අවබෝධය පිණිස පවතීද, මහණෙනි, සද්ධින්ද්‍රිය පදයද එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්‍රිය පදයද එය අවබෝධය පිණිස පවතී. සතින්ද්‍රිය පදයද එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්‍රිය පදයද එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය පදයද එය අවබෝධය පිණිස පවතී. “මහණෙනි, යම්සේ ඇවිදින සත්වයන්ගේ පියවර වෙත්ද, ඒ සියළු පියවර ඇත් පාදයෙහි ඇතුළත් වෙත්ද, යම්සේ මහත් බැවින් ඇත් පාදය ඔවුන්ගේ අග්‍ර බවට යේද, මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත්ද, අවබෝධය අතින් පඤ්ඤින්ද්‍රිය ඔවුන්ගෙන් අග්‍රවේ.”
4. 6. 5.
සාරගන්ධොපම සූත්‍රය
1739. “මහණෙනි, යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන් ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධ කිරීම වශයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ. “මහණෙනි, බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. “මහණෙනි, යම්සේ යම්කිසි සාරගන්ධයෝ වෙත්ද, ඔවුන්ගෙන් රත්සඳුන් අග්‍රවේ. මහණෙනි, එපරිද්දෙන් යම්කිසි බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් අවබෝධය වශයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.
4. 6. 6.
එකධම්ම පතිට්ඨිත සූත්‍රය
1740. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි’ කියා ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, එක් ධර්මයෙක්හි පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු වෙත්. මනාකොට වඩන ලද්දාහු වෙත්. “කවර එක් ධර්මයෙක්හිද? අප්‍රමාදයෙහිය. මහණෙනි, අප්‍රමාදය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රව ධර්මයන්හිද ආශ්‍රව සහිත ධර්මයන්හිද සිත රකියිද ඒ ආශ්‍රව ධර්මයන්හිද සාශ්‍රව ධර්මයන්හිද සිත රක්නා භික්ෂුවට සද්ධින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. විරියින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සතින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. සමාධින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි. පඤ්ඤින්ද්‍රියද වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙයි” “මහණෙනි, මෙසේ වනාහි එක් ධර්මයෙක් පිහිටියාවූ භික්ෂුවගේ පඤ්ච ඉන්ද්‍රියයෝ වඩනලද්දාහුද වෙත්. මනාකොට වඩන ලද්දාහුද වෙත්.
4. 6. 7.
සහම්පති බ්‍රහ්ම සූත්‍රය
1741. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බුදුවූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජරා නදී තීරයෙහි අජපාල නිග්‍රොධ මූලයෙහි වැඩ සිටි සේක. ඉක්බිති රහසිගතව විවේක සුවයෙන් වැඩසිටි භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතෙහි අදහසක් පහළ විය. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ච ඉන්ද්‍රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන අවසාන කොට ඇත්තාහුය යනුයි. “කවර පසක්ද? වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සද්ධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ විරියින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සතින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ සමාධින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන අවසාන කොට ඇත්තේ වෙයි. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ පඤ්ඤින්ද්‍රිය නිවනට ඇතුල් කරන්නේ නිවන උපදවන්නේ නිවන කෙළවරකොට ඇත්තේ වෙයි. “වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ පඤ්චෙන්ද්‍රියයෝ නිවනට ඇතුල් කරන්නාහු නිවන උපදවන්නාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.