6. ඡට්ඨ වර්ගය
4. 6. 1.
සාලාගාම සූත්‍රය
1735. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට සාලානම් බමුණු ගම වාසය කළසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි, කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ‘මහණෙනි, යම්සේ යම් ඒ තිරිසන්ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහ මෘග රාජතෙමේ යම් බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවේද, මහණෙනි, එපරිද්දෙන් යම් බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, ඔවුන්ගෙන් අවබෝධයෙන් පඤ්ඤින්ද්‍රිය අග්‍රවේ.
“මහණෙනි. බොධිපාක්ෂික ධර්මයෝ කවරේද? මහණෙනි, සද්ධින්ද්‍රිය, බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි එය අවබෝධය පිණිස පවතී. සතින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධ පිණිස පවතී. සමාධින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්‍රිය බොධිපාක්ෂික ධර්මයකි. එය අවබෝධය පිණිස පවති. “මහණෙනි, යම්සේ තිරිසන් ගත සත්වයෝ වෙත්ද, ඔවුන්ගෙන් සිංහරාජ තෙමේ බලයෙන් වේගයෙන් සූරකමින් අග්‍රවෙයි. මහණෙනි, එපරිද්දෙන් යම් ඒ බොධිපාක්ෂික ධර්මයෝ වෙත්ද, යම් ඒ අවබෝධයෙන් පඤ්ඤින්ද්‍රියය ඔවුන්ගෙන් අග්‍රවේ.”
4. 6. 2.
මල්ලක නිගම සූත්‍රය
1736. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල කප්පනම්වූ මල්ලයන්ගේ නියම් ගම වාසය කළ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූසේක. ‘මහණෙනි, යම්තාක් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නූපන්නේ වේද, ඒතාක් සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීමක් නොවෙයි. ඒතාක් සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්මක් නොවෙන්නේයි. “මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම වෙයි.
මහණෙනි, යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද? ඒතාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි. “මහණෙනි එපරිද්දෙන් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය නොඋපන්නේ වෙයිද, ඒ තාක් සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම නොවෙයි. ඒ තාක් සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම නොවෙයි. “ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ආර්‍ය්‍යඥානය උපන්නේ වෙයිද, එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි සතර ඉන්ද්‍රියයන්ගේ පැවැත්ම වෙයි. මහණෙනි යම්සේ කුළුගෙයක කොත (වහල් මුදුන) ඔසවන ලද්දේ නොවෙයිද, ඒ තාක් ගොනැසුන්ගේ මනා පිහිටීම නොවෙයි. එතෙක් ගොනැසුන්ගේ පැවැත්ම නොවෙයි. මහණෙනි, යම් කලෙක වනාහි කුළුගෙයි කොත ඔසවන ලද්දේ වෙයිද, එකල්හි ගොනැසුන්ගේ මනා පිහිටීම වෙයි. එකල්හි ගොනැසුන්ගේ පැවැත්ම වෙයි. “කවර සතරක්හුගේද යත් සද්ධින්ද්‍රිය විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, යන ඉන්ද්‍රියන්ගේය. මහණෙනි, ප්‍රඥාවත් ආර්‍ය්‍යශ්‍රාවකයාගේ ඒ ප්‍රඥාවට අනුව සද්ධින්ද්‍රිය පිහිටයි. ඊට අනුව විරියින්ද්‍රිය පිහිටයි. ඊට අනුව සතින්ද්‍රිය පිහිටයි. ඊට අනුව සමාධින්ද්‍රිය පිහිටයි.”
4. 6. 3.
සෙඛපරියාය සූත්‍රය
1737. මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වැඩ සිටි සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ඇමතූ සේක. “යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂභූමියේ සිටියේ මම ශෛක්ෂවෙමියි දන්නේද? අශෛක්ෂව භික්ෂුව අශෛක්ෂභූමියේ සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, මහණෙනි, එවැනි ක්‍රමයක් ඇත්තේද? “ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන්වහන්සේ මුල් කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.” “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියෙහි සිටියේ මම ශෛක්ෂ වෙමියි දන්නේද, අශෛක්ෂ භික්ෂුව අශෛක්ෂ භූමියෙහි සිටියේ මම අශෛක්ෂ වෙමියි දන්නේද, එවැනි ක්‍රමයක් ඇත. “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂ භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඒ ක්‍රමය කවරේද? ශෛක්ෂ භික්ෂුතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක්ඛ නිරෝධයයයි තත්වූ පරිද්දෙන් දනියිද, මේ දුක නැති කිරීමේ මගයයි තත්වූ පරිද්දෙන් දනියිද, “මහණෙනි, යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂුව ශෛක්ෂව භූමියේ සිටියේ මම ශෛක්ෂ වෙමියි දැනගනියිද, ඊට මෙයද ක්‍රමයක් වන්නේය.
“මහණෙනි, අනික් ක්‍රමයක්ද කියමි ‘යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දේශනා කරයිද. මෙයින් පිටත්හි එසේ දේශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇත්තේදැයි’ මෙසේ කල්පනා කරයි. “යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ විද්‍යමානවූ සත්‍යවූ ධර්මයක් දේශනා කරන සේක්ද මෙයින් පිටත්හි එසේ දේශනා කරන අන්‍ය ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැතැයි’ හෙතෙම දැනගනියි. යම් ක්‍රමයකින් ශෛක්ෂ භික්ෂු තෙම ශෛක්ෂ භූමියෙහි සිටියේ ‘මම ශෛක්ෂ වෙමියි’ දැන ගනියිද, මහණෙනි, ඊට මෙයද ක්‍රමයකි.