4. 3. 4.
4. එකබීජ සූත්‍රය
1708. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රිය යනුයි. මහණෙනි, මොව්හු පඤ්චෙන්ද්‍රියයෝයි. [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රීයයන්ගෙන් උපහච්ච පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ඒකබීජි නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී එකම ආත්මභාවයක ඉපිද රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් කෝලංකොල නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී දෙතුන් භවයක සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සත්තක්ඛත්තු පරම නම් සෝවාන් පුද්ගලයා වෙයි (සත්වරක් දෙව් මිනිස් ලෝකයන්හි සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
4. 3. 5.
5. ඡළින්ද්රිය සූත්‍රය
1709. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද? චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්රිය සයවෙති.”
4. 3. 6.
6. ඡළින්ද්රිය සෝතාපන්න සූත්‍රය
1710. [2] “මහණෙනි මේ ඉන්ද්රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ ෂඞ්න්ද්රියයන්ගේ ඉපදීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද, නිස්සරණදය තත්වූ පරිද්දෙන් දනියිද, මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේ අර්හත් මාර්ගයට නියතවූයේ නිර්වාණය පරායන කොට ඇත්තේයයි කියනු ලැබේ”
4. 3. 7.
7. ඡළින්ද්රිය අරහන්ත සූත්‍රය
1711. [2] “මහණෙනි, මේ ඉන්ද්රියෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි. “මහණෙනි, යම්සේ වනාහි මහණතෙමේ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හා දිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, [3] “මහණෙනි, ඒ භික්ෂූතෙම ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තාවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහාතැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කරනලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.”
4. 3. 8.
8. ඡළින්ද්රිය අභිසම්බුද්ධ සූත්‍රය
1712. මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙති. කවර සයක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි. මහණෙනි, මම යම්තාක් මේ ඉන්ද්රිය සයේ ඇතිවීම ද, නැතිවීම ද, ආශ්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි අවබෝධ නොකළෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතර අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නොකළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ ඉන්ද්රිය සයේ ඇතිවීම ද, නැතිවීම ද, ආශ්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි අවබෝධ කළෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව අතර අනුත්තර සම්‍යක් සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා කළෙමි. මට ඥාන දර්ශනය ද පහළ විය. මාගේ චිත්ත විමුක්තිය (අර්හත්ඵල විමුක්තිය) නොසැලෙයි. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැතැයි.
4. 3. 9.
සමණබ්‍රාහ්මණ සූත්‍රය
1713. මහණෙනි, මේ ඉන්ද්රියයෝ සයක් වෙති. කවර සයක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය, සොතින්ද්රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්ද්රිය, කායින්ද්රිය, මනින්‍ද්‍රිය යනුයි. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ඉන්ද්රිය සයේ ඇතිවීම ද, නැතිවීම ද, ආශ්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මභාවයේදීම තමන්ම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ඉන්ද්රිය සයේ ඇතිවීම ද, නැතිවීම ද, ආශ්වාදය ද, ආදීනවය ද, නිස්සරණය ද තත්වූ පරිදි දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මභාවයේදීම තමන්ම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරති.
4. 3. 10.
දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
1714. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය නොදනිත් ද, චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නොදනිත් ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, සොතින්ද්රිය නොදනිත් ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, සොතින්ද්රිය නිරෝධය නොදනිත් ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, ඝානින්‍ද්‍රිය නොදනිත් ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, ඝානින්‍ද්‍රිය නිරෝධය නොදනිත් ද, ඝානින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, ජිව්හින්ද්රිය නොදනිත් ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, ජිව්හින්ද්රිය නිරෝධය නොදනිත් ද, ජිව්හින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, කායින්ද්රිය නොදනිත් ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, කායින්ද්රිය නිරෝධය නොදනිත් ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, මනින්‍ද්‍රිය නොදනිත් ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව නොදනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධය නොදනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව නොදනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මභාවයේදීම තමන්ම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය නොකරති. මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ චක්ඛුන්‍ද්‍රිය දනිත් ද, චක්ඛුන්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත් ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය දනිත් ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, සොතින්ද්රිය දනිත් ද, සොතින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත් ද, සොතින්ද්රිය නිරෝධය දනිත් ද, සොතින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ඝානින්‍ද්‍රිය දනිත් ද, ඝානින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත් ද, ඝානින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, ඝානින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, ජිව්හින්ද්රිය දනිත් ද, ජිව්හින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත් ද, ජිව්හින්ද්රිය නිරෝධය දනිත් ද, ජිව්හින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, කායින්ද්රිය දනිත් ද, කායින්ද්රිය ඇතිවීමේ හේතුව දනිත් ද, කායින්ද්රිය නිරෝධය දනිත් ද, කායින්ද්රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, මනින්‍ද්‍රිය දනිත් ද, මනින්‍ද්‍රිය ඇතිවීමේ හේතුව දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත් ද, මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිත වූ අර්හත්ඵල සමාධිය හා අර්හත්ඵල ප්‍රඥාව මේ ආත්මභාවයේදීම තමන්ම විශේෂ ඥානයෙන් ප්රත්යක්ෂ කොට එයට පැමිණ වාසය කරති.
තුන්වැනි ඡළින්ද්රිය වර්ගය නිමි.
එහි උද්දානය:
පුනබ්භව ද, ජීවිත සහ අඤ්ඤා ද, එකබීජී සහ සුද්ධක ද, සොතාපන්න, අරහං, බුද්ධ සහ සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකක් ද වේ.