4. 3. 3.
3. අඤ්ඤාතාවින්ද්‍රිය සූත්‍රය
493. [2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, අනඤ්ඤාතස්සාමිතින්ද්‍රිය (සෝවාන් මාර්ග ඥානය) අඤ්ඤින්ද්‍රිය (සෝවාන්ඵලයේ පටන් අර්හත් මාර්ගය දක්වා ආර්‍ය්‍ය මාර්ගඵල ඥානය) අඤ්ඤාතාවින්ද්‍රිය (අර්හත් ඵල ඥානය) යනුයි. මහණෙනි, මේ තුන් ඉන්ද්‍රියයෝ වෙත්.
4. 3. 4.
4. එකබීජ සූත්‍රය
494. [2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙත්. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි. මහණෙනි, මොව්හු පඤ්චෙන්ද්‍රියයෝයි. [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරා පරිනිබ්බායී අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රීයයන්ගෙන් උපහච්ච පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායි අනාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමී අනාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ඒකබීජි නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී එකම ආත්මභාවයක ඉපිද රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් කෝලංකොල නම් සෝවාන් පුද්ගලයා වෙයි (සෝවාන්වී දෙතුන් භවයක සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සත්තක්ඛත්තු පරම නම් සෝවාන් පුද්ගලයා වෙයි (සත්වරක් දෙව් මිනිස් ලෝකයන්හි සැරිසරා රහත්වන පුද්ගලයා). ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
4. 3. 5.
5. ඡළින්ද්‍රිය සූත්‍රය
495. [2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද? චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි මහණෙනි, මොව්හු වනාහි ඉන්ද්‍රිය සයවෙති.”
4. 3. 6.
6. ඡළින්ද්‍රිය සෝතාපන්න සූත්‍රය
496. [2] “මහණෙනි මේ ඉන්ද්‍රියයෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි මහණෙනි, යම් කලෙක වනාහි ආර්‍ය්‍ය ශ්‍රාවකතෙමේ මේ ෂඞ්න්ද්‍රියයන්ගේ ඉපදීමද නැතිවීමද ආශ්වාදයද ආදීනවයද, නිස්සරණදය තත්වූ පරිද්දෙන් දනියිද, මහණෙනි, ඒ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තේ අර්හත් මාර්ගයට නියතවූයේ නිර්වාණය පරායන කොට ඇත්තේයයි කියනු ලැබේ”
4. 3. 7.
7. ඡළින්ද්‍රිය අරහන්ත සූත්‍රය
497. [2] “මහණෙනි, මේ ඉන්ද්‍රියෝ සයක් වෙත්. කවර සයෙක්ද, චක්ඛුන්ද්‍රිය, සොතින්ද්‍රිය, ඝානින්ද්‍රිය, ජිව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යනුයි. “මහණෙනි, යම්සේ වනාහි මහණතෙමේ මේ ෂඞ්ඉන්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන තණ්හා දිට්ඨි මානයන්ගෙන් අල්වා ගැනීමෙන් මිදුනේ වෙයිද, [3] “මහණෙනි, ඒ භික්ෂූතෙම ක්ෂය කරන ලද ආශ්‍රවයන් ඇත්තාවූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවූ කරන ලද කටයුතු ඇත්තාවූ බහාතැබූ කෙලෙස් බර ඇත්තාවූ තමාගේ අර්ථයට පැමිණියාවූ ක්ෂය කරනලද භව බැඳුම් ඇත්තාවූ මනාකොට දැන මිදුණාවූ අර්හත් පුද්ගලයායයි කියනු ලැබේ.”