4. 2. 8.
8. පටිපන්න සූත්‍රය
488. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි.” [4] “මහණෙනි, යමෙකුට වනාහි මේ පඤ්චෙන්ද්‍රියයෝ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම නැද්ද, මම ඔහු (මෙම අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන්) බාහිරවූ පෘථග්ජන කොටසෙහි සිටියේයයි කියමි.
4. 2. 9.
9. ඉන්ද්‍රිය සම්පන්න සූත්‍රය
489. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ඒ භික්ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. [2] “ස්වාමීනි, ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයාය, ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයායයි කියනුලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි ඉන්ද්‍රිය සම්පන්න පුද්ගලයෙක් වන්නේද?” යනුයි. [3] “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබෝධයට පමුණුවන්නාවූ සද්ධින්ද්‍රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන්නාවූ මනා අවබෝධයට පමුණුවන්නාවූ විරියින්ද්‍රිය වඩන්නේද සංසිඳීමට පමුණුවන මනා අවබෝධයට පමුණුවන සතින්ද්‍රිය වඩන්නේද, සංසිඳීමට පමුණුවන මනා අවබෝධයට පමුණුවන සමාධින්ද්‍රිය වඩන්නේද, සංසිඳීමට මනා අවබෝධයට පමුණුවන පඤ්ඤින්ද්‍රිය වඩන්නේද, මෙපමණකින් වනාහි මහණතෙම ඉන්ද්‍රිය සම්පන්නයෙක් වේ.”
4. 2. 10.
10. ආසවක්ඛය සූත්‍රය
490. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. [3] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසවෙති. මහණෙනි, මේ ඉන්ද්‍රිය පස වැඩීමෙන් බොහෝකොට කිරීමෙන් මහණතෙමේ ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහිම තමන්ම විශේෂඥානයෙන් ප්‍රත්‍යක්ෂකොට ඊට ඥානයෙන් පැමිණ වාසය කරන්නේය.”
මුදුතරවග්ගො දුතියො.
එහි උද්දානය:
පටිලාභ ද, සංඛිත්ත තුනක් ද, පසුව විත්ථාර තුනක් ද, පටිපන්න සහ සම්පන්න ද, දසවැන්න ආසවක්ඛය ද වේ.