2. මුදුතර වර්ගය
4. 2. 1.
1. පඤ්චෙන්ද්‍රිය පටිලාභ සූත්‍රය
481. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. [2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය යනුයි. [3] “මහණෙනි, සද්ධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ශ්‍රද්ධා ඇත්තේ වේද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ නිසා අර්හත්ය. සම්‍යක් සම්බුද්ධයහ අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයෙන් යුක්තයහ. සුගතයහ. සියලු ලෝකයන් දන්නාහ. නිරුත්තර පුරුසදම්මසාරථියහ. දෙව් මිනිසුන්ට ශාස්තෲයහ. බුද්ධයහ. භාග්‍යවත් යයි තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහන්නේ වෙයිද, මහණෙනි, මේ සද්ධින්ද්‍රියයයි කියනු ලැබේ. [4] “මහණෙනි, විරියින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධානයන් අරභයා යම් වීර්‍ය්‍යයක් ලබයිද, මහණෙනි, මෙය විරියින්ද්‍රියයයි කියනු ලැබේ. [5] “මහණෙනි, සතින්ද්‍රිය කවරේද? මහණෙනි, සතර සතිපට්ඨානයන් අරභයා යම් සිහියක් ලබයිද? මහණෙනි, මෙය සතින්ද්‍රියයයි කියනු ලැබේ. [6] “මහණෙනි, සමාධින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අරමුණුකොට ඇති සමාධියක් ලබයිද, චිත්තයාගේ එකඟ බවක් ලබයිද මහණෙනි, මෙය සමාධින්ද්‍රිය යයි කියනු ලැබේ. [7] “මහණෙනි, පඤ්ඤින්ද්‍රිය කවරේද? මහණෙනි, මේ ශාසනයේ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ ඇතිවීම හා නැතිවීම දක්නාවූ නුවණින් යුක්තවූයේ උතුම්වූ විනිවිද දක්නාවූ මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ නුවණැත්තේ වේද, මහණෙනි, මෙය පඤ්ඤින්ද්‍රියයයි කියනු ලැබේ. මහණෙනි, මොව්හු වනාහි පඤ්චෙන්ද්‍රියයෝයි.”
4. 2. 2.
2. මුදුතන්ද්‍රිරිය සූත්‍රය
482. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි) [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ප්‍රඥාව පෙරටු කොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා (ශ්‍රද්ධාව පෙරටුකොට සෝවාන් මාර්ගයට පැමිණෙන පුද්ගලයා) වෙයි.
4. 2. 3.
3. ඉන්ද්‍රිය වෙමත්ත සූත්‍රය
483. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රියයන්ගෙන් වෙනස් කමින් ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් කමින් පුද්ගලයන්ගේ වෙනස් බව ඇතිවේ.”
4. 2. 4.
4. පරිපූරකාරී සූත්‍රය
484. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් මාර්ගස්ථයා වෙයි. [4] “මහණෙනි, මෙසේ වනාහි සම්පූර්ණවූ ඉන්ද්‍රිය ඇති අර්හත් මාර්ගය සම්පූර්ණ කිරීමෙන් අර්හත් ඵලයට පැමිණෙයි. කොටසක්වූ ඉන්ද්‍රියයන් ඇති ඉතිරි මාර්ග තුන සම්පූර්ණ කිරීමෙන් ඉතිරි ඵල තුනට පැමිණෙයි. මහණෙනි, මම මෙසේ පංචෙන්ද්‍රියයෝ වඳ නොවෙත්යයි” කියමි.
4. 2. 5.
5. සද්ධානුසාරී සූත්‍රය
485. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී (පංච සුද්ධාවාසයෙහි ආයු අඩකට අතරතුර රහත් වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී (පංචසුද්ධාවාසයෙහි ආයු අඩක් ඉක්මවා රහත් බවට පැමිණෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසඩ්ඛාර පරිනිබ්බායී (නොහොත් පංච සුද්ධාවාසයේ ඉපිද පහසුවෙන් වෙහෙස නොවී රහත්වෙන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී (පංච සුද්ධාවාසයේ ඉපිද වෙහෙසවී උත්සාහයෙන් රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි (ක්‍රමයෙන් අකනිටා බඹලොව දක්වා රහත්වන) අනාගාමී පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරි නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී නම් සෝවාන් මාර්ගස්ථයා වෙයි.”
4. 2. 6.
6. අන්තරාපරිනිබ්බායි සූත්‍රය
486. (මේ ඡේද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡේද මෙනි.) [3] “මහණෙනි, මේ පංචෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අන්තරාපරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උපහච්ච පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සසංඛාර පරිනිබ්බායී අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් උද්ධංසොත අකනිට්ඨගාමි අනාගාමි පුද්ගලයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමි වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් ධම්මානුසාරී සෝවාන් මර්ගස්ථයා වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ථයා වෙයි.” [4] “මහණෙනි, මෙසේ වනාහි ඉන්ද්‍රියයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන ඵලයන්ගේ වෙනස් බව වෙයි. ඵලයන්ගේ වෙනස් බව හේතුකොට ගෙන පුද්ගලයන්ගේ වෙනස් බව වේ.”