4. 2. 10.
10. ආසවක්ඛය සූත්රය
490. [1] මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. [3] “මහණෙනි, මේ ඉන්ද්රිය පසවෙති. මහණෙනි, මේ ඉන්ද්රිය පස වැඩීමෙන් බොහෝකොට කිරීමෙන් මහණතෙමේ ආශ්රවයන් ක්ෂයකිරීමෙන් ආශ්රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්රඥාවත් මේ ආත්මයෙහිම තමන්ම විශේෂඥානයෙන් ප්රත්යක්ෂකොට ඊට ඥානයෙන් පැමිණ වාසය කරන්නේය.”
මුදුතරවග්ගො දුතියො.
එහි උද්දානය:
පටිලාභ ද, සංඛිත්ත තුනක් ද, පසුව විත්ථාර තුනක් ද, පටිපන්න සහ සම්පන්න ද, දසවැන්න ආසවක්ඛය ද වේ.
3. ඡළින්ද්රිය වර්ගය
4. 3. 1.
1. න අබ්භඤ්ඤාසි සූත්රය
491. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසෙකි කවර පසෙක්ද? සද්ධින්ද්රිය, විරියින්ද්රිය, සතින්ද්රිය, සමාධින්ද්රිය, පඤ්ඤින්ද්රියයි. මහණෙනි, මම යම්තාක් මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වප්රජාවට නිරුත්තරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කෙළෙම්යයි ප්රතිඥා නොකෙළෙමි. [3] “මහණෙනි, යම්කලෙක වනාහි මම මේ පඤ්චෙන්ද්රියයන්ගේ ඉපදීම, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබෝධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්රහ්මයන් සහිත ලෝකයෙහි ශ්රමණ බ්රාහ්මණයන් දෙව් මිනිසුන් සහිත ප්රජාවට නිරුත්තරවූ සම්යක් සම්බෝධිය අවබෝධ කළෙම්යයි ප්රතිඥා කෙළෙමි [4] “මාගේ අර්හත්ඵල සමාධිය නැතිකළ නොහැක. මාගේ මේ අන්තිම ජාතියවේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්ශනයද මට පහළවිය.
4. 3. 2.
2. ජීවිතින්ද්රිය සූත්රය
492. [1] (මේ වර්ගයේ සියලු සූත්රයන්හි මුල් ඡේද මෙහි මුල් සූත්රයේ මෙනි.) [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, ඉත්ථින්ද්රිය, පුරිසින්ද්රිය, ජීවිතින්ද්රිය යනුයි. මහණෙනි, මොව්හු වනාහි තුන් ඉන්ද්රියයෝයි.”
4. 3. 3.
3. අඤ්ඤාතාවින්ද්රිය සූත්රය
493. [2] “මහණෙනි, මේ ඉන්ද්රියයෝ තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද, අනඤ්ඤාතස්සාමිතින්ද්රිය (සෝවාන් මාර්ග ඥානය) අඤ්ඤින්ද්රිය (සෝවාන්ඵලයේ පටන් අර්හත් මාර්ගය දක්වා ආර්ය්ය මාර්ගඵල ඥානය) අඤ්ඤාතාවින්ද්රිය (අර්හත් ඵල ඥානය) යනුයි. මහණෙනි, මේ තුන් ඉන්ද්රියයෝ වෙත්.