3. 5. 7.
7. දුච්චරිත සූත්රය
413. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව තනිව අප්රමාදව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” යනුයි.
“මහණ, එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කවරේද? මහණ, නුඹ මෙහි කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිය. වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිය. මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිය. මහණ නුඹ යම් කලෙක පටන් කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිද වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිද මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිද, මහණ, නුඹ එතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය. කවර සතරක්ද යත්? මහණ, නුඹ මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව. මහණ, නුඹ යම් කලෙක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද එතැන් පටන් මහණ නුඹට යම් රාත්රියක් හෝ දාවලක් පැමිණෙන්නේද කුසල ධර්මයන්හි වෘද්ධියම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි.” “ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව ... ඒ භික්ෂූන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
3. 5. 8.
8. මිත්ත සූත්රය
414. “මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම් කිසිවකු ඇසියයුත්තකු කොට සිතන්නහුද, මහණෙනි, ඒ තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කරවිය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ. කවර සතරකද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරව්ද, මිත්රවූ හෝ හිතවත්වූ හෝ සහලේ නෑවූ හෝ යම්කිසිවකු ඇසියයුත්තක් කොට සිතන්නහුද, මහණෙනි, තොප විසින් ඔවුහු සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිස සමාදන් කර විය යුත්තාහ. වැස්විය යුත්තාහ. පිහිටවිය යුත්තාහ.
3. 5. 9.
9. වේදනා සූත්රය
415. “මහණෙනි, වේදනාවෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද යත්? සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, උපේක්ෂා වේදනාවය. මහණෙනි, මොව්හු වේදනාවෝ තිදෙනය. මහණෙනි, මේ වේදනා තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “මහණෙනි, මේ වේදනාවන් තිදෙනාගේ මනාකොට දැනගැනීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
3. 5. 10.
10. ආසව සූත්රය
416. “මහණෙනි, මේ ආශ්රවයෝ තිදෙනෙකි. කවර තිදෙනෙක්ද? කාමාශ්රවය, භවාශ්රවය, අවිද්යාශ්රවය යනුයි. මහණෙනි මේ ආශ්රවයන් තිදෙනාය. මේ ආශ්රවයන් තිදෙනාගේ ප්රහාණය පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ. කවර සතරක්ද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “මහණෙනි, මේ ආශ්රවයන් තිදෙනාගේ ප්රහාණය කිරීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.”
අමතවග්ගො පඤ්චමො.
එහි උද්දානය:
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි ද, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වෙදනා සහ ආසව යැයි (සූත්ර දසයකි).