3. 5. 5.
5. කුසලරාසි සූත්රය
411. “මහණෙනි, කුසල රාසිය යයි කියන්නේ නම් සතර සතිපට්ඨානයන්ට කීම ම යහපත්කොට කීම වන්නේය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි. ඒ සතර කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මානුපස්සීව වාසය කරන්නේය. “මහණෙනි, කුසල රාශිය යයි කියන්නේ නම් මේ සතර සතිපට්ඨානයට කීම ම යහපත් කීම වන්නේය. යම් ඒ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි.”
3. 5. 6.
6. පාතිමොක්ඛ සූත්රය
412. “එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසක හුන්නේය. එක්පසක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදකලාව තනිව අප්රමාදව කෙලෙස්තවන වීර්ය්ය ඇතිව සංසිඳුවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” කියායි.
“මහණ, එසේනම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කුමක්ද? මහණ, එසේනම් නුඹ මෙහිදී ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරව. ආචාරගෝචර දෙකින් සමන්විතව සුළු වරදෙහි පවා භය දක්නා සුළුව ශික්ෂාපදයන් දැඩිකොට සමාදන්ව හික්මෙව. මහණ, නුඹ යම් කලෙක පටන් ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් යුක්තව වාසය කරන්නේ, ආචාරගෝචර දෙකින් යුක්තව සුළු වරදෙහි පවා භය දක්නාසුළුව ශික්ෂා පදයන් දැඩිකොට සමාදන්ව හික්මෙන්නෙහිද, “මහණ, නුඹ මෙතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය. “කවර සතරක්ද යත්? මහණ, නුඹ මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව. “කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරව. “කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරව. “කෙලෙස් තවන වීර්ය්ය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කරව. “මහණ, නුඹ යම්කලෙක පටන් ශීලය නිසා ශීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද, මහණ, එතැන් පටන් නුඹට යම් රාත්රියක් හෝ දවාලක් පැමිණෙන්නේද, එය කුසල් ධර්මයන්ගේ දියුණුවක්ම කැමති විය යුත්තේය. කුසල ධර්මයන්හි පිරිහීමක් නොවන්නේය.” ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුවී අනුමෝදන්ව ආසනයෙන් නැගිට වැඳ ගරුකොට ගියේය. ... ඒ භික්ෂූන් වහන්සේද රහතුන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.
3. 5. 7.
7. දුච්චරිත සූත්රය
413. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ මට සැකෙවින් ධර්මය දේශනා කරන සේක්වා. මම භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා හුදෙකලාව තනිව අප්රමාදව කෙලෙස් තවන වීර්ය්යය ඇතිව සංසිඳවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි” යනුයි.
“මහණ, එසේ නම් නුඹ කුසල ධර්මයන්හි මුලම පිරිසිදු කරව. කුසල ධර්මයන්හි මුල කවරේද? මහණ, නුඹ මෙහි කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිය. වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිය. මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිය. මහණ නුඹ යම් කලෙක පටන් කාය දුශ්චරිතය දුරුකොට කාය සුචරිතය වඩන්නෙහිද වාක් දුශ්චරිතය දුරුකොට වාක් සුචරිතය වඩන්නෙහිද මනෝ දුශ්චරිතය දුරුකොට මනෝ සුචරිතය වඩන්නෙහිද, මහණ, නුඹ එතැන් පටන් සීලය නිසා සීලයෙහි පිහිටා සතර සතිපට්ඨානයන් වඩන්නෙහිය. කවර සතරක්ද යත්? මහණ, නුඹ මේ ශාසනයෙහි කෙලෙස්තවන වීර්ය්ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරව. වේදනාවන්හි ... සිතෙහි ... ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරව. මහණ, නුඹ යම් කලෙක පටන් සීලය නිසා සීලයෙහි පිහිටා මේ සතර සතිපට්ඨානයන් මෙසේ වඩන්නෙහිද එතැන් පටන් මහණ නුඹට යම් රාත්රියක් හෝ දාවලක් පැමිණෙන්නේද කුසල ධර්මයන්හි වෘද්ධියම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි.” “ඉක්බිති ඒ භික්ෂුතෙම භාග්යවතුන් වහන්සේගේ වචනයට සතුටුව ... ඒ භික්ෂූන් වහන්සේද රහතන් වහන්සේලා අතරින් එක්තරා කෙනෙක් වූහ.