3. 4. 5.
සතො සූත්‍රය
1213. “මහණෙනි, මහණ තෙමේ සිහියෙන් යුක්තව නුවණින් යුක්තව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි. මහණෙනි, මහණතෙමේ කෙසේනම් සිහි ඇත්තේ වෙයිද? “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ කයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම කෙසේ නම් නුවණ ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට ප්‍රකටව වේදනාවෝ උපදිත්ද, ප්‍රකටව වේදනාවෝ එළඹ සිටිත්ද, ප්‍රකටව වේදනාවෝ විනාශයට යෙත්ද ප්‍රකටව විතර්කයෝ උපදිත්ද ප්‍රකටව විතර්කයෝ එළඹ සිටිත්ද, ප්‍රකටව විතර්කයෝ විනාශයට යත්ද, “ප්‍රකටව සඤ්ඤාවෝ උපදිත්ද, ප්‍රකටව සඤ්ඤාවෝ එළඹ සිටිත්ද, ප්‍රකටව සඤ්ඤාවෝ විනාශයට යත්ද, මහණෙනි, මෙසේ වනාහි මහණතෙමේ නුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණතෙම සිහි ඇතිව නුවණ ඇතිව වාසය කරන්නේය. මේ වනාහි තොපට අපගේ අනුශාසනාවයි.”
3. 4. 6.
අඤ්ඤා සූත්‍රය
1214. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්දයත්? මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා වේදනාවන්හි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද; මහණ තෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සංසිඳුවා ධර්මයෙහි ධර්මය නැවත නැවත බලමින් වාසය කෙරේද. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් කරනලද බැවින් මේ ආත්මයෙහි රහත්වීම හෝ ස්කන්ධ ශේෂව ඇතිකල්හි අනාගාමී බව හෝ යන මේ ඵල දෙක අතරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුයි.”
3. 4. 7.
ඡන්ද සූත්‍රය
1215. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. කවර සතරක්ද යත්. “මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ කයෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනාවන් නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ වේදනාවන් කෙරෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණකිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසයකරන්නාවූ ඔහුගේ සිතෙහි යම් ආශාවක් වේද, ඒ ආශාව ප්‍රහීණ වේ. ආශාව ප්‍රහීණ කිරීමෙන් (අමෘතය) නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, නීවරණාදී ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නා වූ ඔහුගේ ධර්මයන් කෙරෙහි යම් ආශාවක් වේද ඒ ආශාව ප්‍රහීණවේ. ඒ ආශාව ප්‍රහීණ කිරීමෙන් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වෙයි”
3. 4. 8.
පරිඤ්ඤාත සූත්‍රය
1216. “මහණෙනි, මේ සතර සතිපට්ඨානයෝ වෙත්. “කවර සතරක්දයත්, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, කයෙහි කය නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් කය මනාකොට දැනගන්නා ලද්දේ වේ. කය මනාකොට දැන ගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව, සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා වේදනාවෙහි වේදනා නැවත නැවත බලමින් වාසය කෙරේද, වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කරන්නහු විසින් වේදනාව මනාකොට දැන ගන්නා ලද්දේ වේ. වේදනාව මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව, යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කෙරේද, සිතෙහි සිත නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් සිත මනාකොට දැනගන්නා ලද්දේ වේ. සිත මනාකොට දැනගත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වේ. “කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ද්වේෂයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ධර්මයන්හි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කරන්නාහු විසින් ධර්මයෝ මනාකොට දැන ගන්නා ලද්දේ වේ. ධර්මයන් මනාකොට දත් බැවින් නිවන ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ වන්නේය.”