3. 3. 2.
ඨිති සූත්‍රය
1200. කුක්කුටාරාමයෙහි:
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? “ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේද ආයුෂ්මත් ආනන්දය ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? “ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති.
ආයුෂ්මත් භද්‍රය, ඔබගේ ප්‍රඥාමාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රය, නුඹ මෙසේ විචාරන්නෙහිද? ‘ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කරුණකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේද ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද, කියාද?” “ඇවැත්නි, එසේය.”
“ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මත්නි, සතර සතිපට්ඨානයන් පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ආයුෂ්මත්නි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ නොවේ. ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේ වෙයි”
3. 3. 3.
පරිහාන සූත්‍රය
1201. කුක්කුටාරාමයෙහි:
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම වේද? ඊට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයිනි, යම් හෙයකින් සද්ධර්මයාගේ නොපිරිහීම වේද, එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද?” “ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති. ආයුෂ්මත් භද්‍රය, ඔබගේ ප්‍රඥා මාර්ගය යහපත්ය. වැටහීම යහපත්ය. පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රය, නුඹ මෙසේ විචාරන්නෙහිද? ‘ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හෙයකින් සද්ධර්මයාගේ පිරිහීම වේද, එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? ආයුෂ්මත් ආනන්දයෙනි, යම් හේතුවකින් සද්ධර්මයාගේ පිරිහීම නොවේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද, කියාද?”-“ආයුෂ්මතුනි එසේය.”
“ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු නොකළ බැවින් බහුල වශයෙන් පුරුදු නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි, සතර සතිපට්ඨානය පුරුදු කළ බැවින් බහුල වශයෙන් පුරුදු කළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය නොවේ. ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ආයුෂ්මතුනි, මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම නොකළ බැවින් බහුල වශයෙන් වැඩීම නොකළ බැවින් සද්ධර්මයාගේ පරිහානිය වේ. ආයුෂ්මතුනි මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම කළ බැවින් බහුල වශයෙන් වැඩීම කළ බැවින් සද්ධර්මයාගේ නොපිරිහීම වන්නේයි.”