3. 2. 9.
සෙදක සූත්‍රය
385. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම්වූ නියම් ගමක්වේද එහි වැඩ වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්‍රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, උණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්‍ය්‍යයෙනි'යි උණගසින් ක්‍රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්‍ය්‍යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්‍රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්‍රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි. “මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්‍ය්‍යවරයාට මෙසේ කීය. ‘ආචාර්‍ය්‍යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්‍ය්‍යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්‍රවේශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“මහණෙනි, යම්සේ මේදක ථාලිකා අතවැසිතෙමේ ආචාර්‍ය්‍යයාට කීවේද එමෙන් තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළ යුතුයි. මහණෙනි, තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි. මහණෙනි, තමා රකින්නේ කෙසේ නම් අනුන් රකියිද? මහණෙනි පුරුදු කිරීමෙන්, වැඩීමෙන්, බහුල වශයෙන් කිරීමෙන්ය. “මහණෙනි, මෙසේ වනාහි තමා රක්නේ අනුන්ද රකියි. මහණෙනි, කෙසේ නම් අනුන් රකින්නේ තමා රකියිද? ඉවසීමෙන්, හිංසා නොකිරීමෙන්, මෛත්‍රී සිතින්, කරුණාවෙන්ද වේ. මහණෙනි, මෙසේ වනාහි අනුන් රකින්නේ තෙමේ රැකෙයි. මහණෙනි, තමා රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. අනුන් රකින්නෙමියිද සතිපට්ඨානය සේවනය කළයුතුයි. මහණෙනි තමා රකින්නේ අනුන්ද රකියි. අනුන් රකින්නේ තමාද රකියි” යනුයි.
3. 2. 10.
ජනපදකල්‍යාණී සූත්‍රය
386. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම් නියම්ගමක් වේද, එහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, යම්සේ ජනපද කල්‍යාණිය, ජනපදකල්‍යාණියයයි කීකල්හි මහජනයා රැස්වන්නේද, ඒ ජනපද කළ්‍යාණිය වනාහි නැටුමෙහි දක්ෂය. ගී කීමෙහි දක්ෂය. “මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නීය. ගායනා කරන්නීයයි කීකල්හි වැඩියත් මහජන සමූහයා රැස්වන්නේය. එකල්හි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ විසින් මුවවිට දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහාජන සමූහයාටත් ජනපද කළ්‍යාණියටත් අතරින් ගෙනයා යුතුයි. යම් තැනකදී එයින් ස්වල්පයක්වත් හලන්නේ නම් එතැනදීම තාගේ හිස ගසන්නේයයි’ ඔහු පසු පසින් ඔසවන ලද කඩු ඇති එක් පුරුෂයෙක්ද ලුහුබඳින්නේය. “මහණෙනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම තෙල් පාත්‍රය සිහි නොකොට පිටත ප්‍රමාදයකට පැමිණෙන්නේද?” ‘ස්වාමීනි, එය එසේ නොවේ”
“මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. මෙය එහි අර්ථයයි. මහණෙනි, මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය යන මෙය කායගතා සතියට නමෙකි. මහණෙනි, එසේ හෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුලවශයෙන් කරන ලද්දී, යානාවක් මෙන් කරන ලද්දී, අනුව සිටින ලද්දී, පුරුදු කරනලද්දී, මනාකොට පටන්ගන්නා ලද්දී’ වන්නේයයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
නාලන්දවග්ගො දුතියො.
එහි උද්දානය:
මහාපුරිස ද, නාලන්ද ද, චුන්ද ද, චෙල ද, බාහිය ද, උත්තිය ද, අරිය ද, බ්‍රහ්ම ද, සෙදක ද, ජනපදකල්‍යාණී ද යනුයි.