3. 2. 10.
ජනපදකල්‍යාණී සූත්‍රය
386. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම් නියම්ගමක් වේද, එහි වාසය කළසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, යම්සේ ජනපද කල්‍යාණිය, ජනපදකල්‍යාණියයයි කීකල්හි මහජනයා රැස්වන්නේද, ඒ ජනපද කළ්‍යාණිය වනාහි නැටුමෙහි දක්ෂය. ගී කීමෙහි දක්ෂය. “මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නීය. ගායනා කරන්නීයයි කීකල්හි වැඩියත් මහජන සමූහයා රැස්වන්නේය. එකල්හි ජීවත්වෙනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහුය. ‘පින්වත් පුරුෂය, නුඹ විසින් මුවවිට දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහාජන සමූහයාටත් ජනපද කළ්‍යාණියටත් අතරින් ගෙනයා යුතුයි. යම් තැනකදී එයින් ස්වල්පයක්වත් හලන්නේ නම් එතැනදීම තාගේ හිස ගසන්නේයයි’ ඔහු පසු පසින් ඔසවන ලද කඩු ඇති එක් පුරුෂයෙක්ද ලුහුබඳින්නේය. “මහණෙනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම තෙල් පාත්‍රය සිහි නොකොට පිටත ප්‍රමාදයකට පැමිණෙන්නේද?” ‘ස්වාමීනි, එය එසේ නොවේ”
“මහණෙනි, අර්ථය හැඟවීම පිණිස මා විසින් උපමාවක් කරන ලදී. මෙය එහි අර්ථයයි. මහණෙනි, මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රය යන මෙය කායගතා සතියට නමෙකි. මහණෙනි, එසේ හෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. අප විසින් කායගතාසතිය වඩන ලද්දී, බහුලවශයෙන් කරන ලද්දී, යානාවක් මෙන් කරන ලද්දී, අනුව සිටින ලද්දී, පුරුදු කරනලද්දී, මනාකොට පටන්ගන්නා ලද්දී’ වන්නේයයි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”
නාලන්දවග්ගො දුතියො.
එහි උද්දානය:
මහාපුරිස ද, නාලන්ද ද, චුන්ද ද, චෙල ද, බාහිය ද, උත්තිය ද, අරිය ද, බ්‍රහ්ම ද, සෙදක ද, ජනපදකල්‍යාණී ද යනුයි.
3. සීලට්ඨිති වර්ගය
3. 3. 1.
සීල සූත්‍රය
387. [1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද, ආයුෂ්මත් භද්‍ර ස්ථවිරතෙමේද පැළලුප් නුවර කුක්කුටාරාමයෙහි වාසය කරති. එකල්හි ආයුෂ්මත් භද්‍ර ස්ථවිරතෙමේ සවස් වේලෙහි විවේකයෙන් නැගී ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු වියයුතු, සිහිකටයුතු කථාවකොට නිමවා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ කීය. [2] “ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත්වූ චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දාහුද? මේ යහපත්වූ චතුපාරිශුද්ධි සීලයෝ කුමක් නිසා දේශනා කරන ලද්දාහුද?” “ආයුෂ්මත් භද්‍රකය, යහපති. යහපති, ආයුෂ්මත් භද්‍රකය. ඔබගේ ප්‍රඥා මාර්ගය යහපත්ය, වැටහීම යහපත්ය, පිළිවිසීම යහපත්ය. ආයුෂ්මත් භද්‍රකය ඔබ මෙසේ විචාරන්නේ ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලදද භාග්‍යවතුන් වහන්සේ විසින් මේ, චතුපාරිසුද්ධි සීලය කුමක් සඳහා දේශනා කරන ලද්දේද කියායි. ඇවැත්නි, එසේය”
[3] “ආයුෂ්මත් භද්‍රක, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් යහපත්වූ චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දේද භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයෝ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිසම දේශනා කරන ලදහ. [4] “ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන විර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද, සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද? “ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ඇවැත්නි, මේ සාසනයෙහි මහණතෙම කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද, ක්‍රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, [5] “ආයුෂ්මත් භද්‍ර, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ යහපත් චතුපාරිශුද්ධි සීලයක් දේශනා කරන ලද්දේද, භාග්‍යවතුන් වහන්සේ මේ යහපත් චතුපාරිශුද්ධි සීලයෝ මේ සතර සතිපට්ඨානයන්ගේ වැඩීම පිණිසම දේශනා කරන ලදහ.”
3. 3. 2.
ඨිති සූත්‍රය
1200. කුක්කුටාරාමයෙහි:
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි යම් කාරණයකින් සද්ධර්මය බොහෝ කල් නොපවත්නේද එයට හේතු කවරේද ප්‍රත්‍යය කවරේද? “ආයුෂ්මත් ආනන්දයෙනි, තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්මය බොහෝ කල් පවත්නේද ආයුෂ්මත් ආනන්දය ඊට හේතු කවරේද ප්‍රත්‍ය කවරේද? “ආයුෂ්මත් භද්‍රය, යහපති, යහපති.