3. 2. 8.
බ්රහ්ම සූත්රය
384. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ බුද්ධත්වය ලැබූ අළුත උරුවේලාවෙහි නෙරඤ්ජා නදී තෙර අජපාල නුගරුක මුල වැඩ සිටි සේක. එකල්හි රහසිගතව විවේක සැපයෙන් සිටියාවූ භාග්යවතුන් වහන්සේට මෙබඳු අදහසක් පහළවීය. ‘සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂකර ගැනීම පිණිසද පවත්නාවූ යම් මේ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය’ යනුයි. “සතර සතිපට්ඨානයෝ කවරහුද? මහණතෙම කෙලෙස්තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව වීර්ය්යයෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, ‘සත්වයන්ගේ පිරිසිදු බව පිණිසද ශෝකකිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිසද දුක් දොම්නස් පහකිරීම පිණිසද ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිසද යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද මෙය එකම මාර්ගයවෙයි.
එකල්හි සහම්පතී මහා බ්රහ්මතෙමේ භාග්යවතුන් වහන්සේගේ අදහස තමාගේ සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලු අතක් දිග හරින්නේද, දික්කළ අතක් හකුලන්නේද, එපරිද්දෙන් බඹලොවෙහි අතුරුදහන්වූයේ භාග්යවතුන් වහන්සේගේ ඉදිරියෙහි පහළවිය. ඉක්බිති සහම්පතී මහාබ්රහ්මතෙමේ උතුරු සළුව එක් අංශයක කොට භාග්යවතුන් වහන්සේට ඇඳිලි බැඳ මෙසේ කීය.
“භාග්යවතුන් වහන්ස, එය එසේය. සුගතයන් වහන්ස, එය එසේය. සත්වයන්ගේ පිරිසිදුවීම පිණිස ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් පහකිරීම පිණිස ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය. “ඒ සතර සතිපට්ඨානයෝ කවරහුද? ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා කයෙහි කය නැවත නැවත බලමින් වාසය කෙරේද, “ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා වේදනාවෙහි වේදනාව නැවත නැවත බලමින් වාසය කෙරේද, “ස්වාමීනි, මහණතෙම කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා චිත්තයන්හි චිත්තයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ස්වාමීනි, මහණතෙමේ කෙලෙස් තවන වීර්ය්යය ඇතිව යහපත් නුවණ ඇතිව සිහියෙන් යුක්තව මේ ලෝකයෙහි ලෝභයද ක්රෝධයද සංසිඳවා නීවරණාදී ධර්මයන් කෙරෙහි ධර්මයන් නැවත නැවත බලමින් වාසය කෙරේද, “ස්වාමීනි, සත්වයන්ගේ පිරිසිදු බව පිණිස ශෝක කිරීම වැළපීම යන මොවුන්ගේ ඉක්මවීම පිණිස දුක් දොම්නස් පහකිරීම පිණිස ආර්ය්යඅෂ්ටාංගික මාර්ගයට පැමිණීම පිණිස නිර්වාණය ප්රත්යක්ෂ කිරීම පිණිස යම් ඒ සතර සතිපට්ඨාන කෙනෙක් වෙත්ද, මෙය එකම මාර්ගය වන්නේය යනුයි.” සහම්පතී බ්රහ්මතෙම මෙසේ කීය. මෙසේ කියා නැවත මෙසේ කීය.
“හිතානුකම්පීවූ ඉපදීම ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණය දන්නාවූ බුදුරජාණන් වහන්සේ නිවනට යා යුතු එකම මාර්ගය වන්නාවූ මාර්ගය දක්නා සේක. අතීතයෙහි යම් කෙනෙක් සතර ඕඝයන් එතෙර කළාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙරවූහ. අනාගතයෙහි යම් කෙනෙක් එතෙර වන්නාහු නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වන්නාහ. මේ කාලයෙහි යම් කෙනෙක් එතෙර වෙත්නම් ඔව්හුද මේ මාර්ගයෙන්ම එතෙර වෙත්.”
3. 2. 9.
සෙදක සූත්රය
385. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සුම්භයන්ගේ සේදක නම්වූ නියම් ගමක්වේද එහි වැඩ වාසය කරනසේක. එහිදී භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, පෙර වූ දෙයක් කියමි. උණගසින් ක්රීඩා දක්වන්නෙක් උණගස ඔසවා මේදක ථාලිකා නම් අතවැසියා ඇමතුවේය. යහලු මේදක ථාලිකය, නුඹ මෙහි එව, උණගසට නැගී මගේ කරපිට සිටුවයි කීය. මහණෙනි, මේදක ථාලිකා නම් අතවැසියා එසේය, ආචාර්ය්යයෙනි'යි උණගසින් ක්රීඩා දක්වන්නාට උත්තර දී උණගසට නැගී ආචාර්ය්යයාගේ කරපිට සිටියේය. මහණෙනි, එකල්හි ක්රීඩා දක්වන්නා මේදක ථාලිකා නම් අතවැසියාට මෙය කීවේය. ‘යහළු මේදක ථාලිකය, නුඹ මා ආරක්ෂා කරව, මම නුඹ ආරක්ෂා කරන්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් ප්රවේශම් කරන්නාහු ඔවුනොවුන් රකින්නාවූ ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු, සැපසේ උණගසින් බසින්නෙමු’ යනුයි. “මහණෙනි, මෙසේ කීකල්හි මේදක ථාලිකා අතවැසි තෙම ආචාර්ය්යවරයාට මෙසේ කීය. ‘ආචාර්ය්යයෙනි, මෙය එසේ නොවන්නේය. ආචාර්ය්යයෙනි, ඔබ තමා රකින්න, මම තමා රකින්නෙමි. මෙසේ අපි තම තමාම ප්රවේශම් වූවාහු තම තමාම රැකුනාහු ශිල්පද දක්වන්නෙමු. ලාභද ලබන්නෙමු. සැපසේ උණගසින්ද බසින්නෙමු. එය එහි උපායයි’ (සුදුසු පිළිවෙලයි.) භාග්යවතුන් වහන්සේ වදාළසේක.